නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පස්වන නාම යෝජනාව ද ඊයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබෙනවා.
ඊට අදාළ අවසන් තීන්දුව අද දින රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී බොහෝ දුරට අනුමත වීමටද ඉඩකඩ පවතිනවා.
හිටපු විගණකාධිපති W.P.C වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු 2025 වසරේ අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා විගණකාධිපති ධුරය හිස්ව පවතිනවා.
පසුගිය වසරේ අප්‍රේල් මස 9 වැනිදා සිට එම ධුරයේ වැඩ බැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ, ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කෙරුණත්, ඔහුගේ වැඩ බැලීමේ කාලය දෙසැම්බර් මස 05 වැනිදායින් අවසන් වුණා.
අනතුරුව ජනාධිපතිවරයා විසින් ගම්මන්පිල මහතාගේ නම හැර විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ ද ඒවා ප්‍රතික්ෂේප වීමත් විශේෂත්වයක්.
මේ අතර විගණකාධිපති ධුරය සඳහා කඩිනමින් නිලධාරියෙකු පත්කරන්නැයි දන්වමින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගිය 27 වැනිදා ජනාධිපතිවරයා වෙත නිකුත් කෙරුණේ එවන් පසුබිමකයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරය සඳහා පත් කිරීම සුදුසු බවත් මහා නා හිමිවරුන් අදාළ ලිපිය මගින් දැනුම්දී තිබුණා.
කෙසේ නමුත් මහා නා හිමිවරුන් සඳහන් කරන පරිදි දෙපාර්තමේන්තුව තුළින් හෝ ඉන් පරිබාහිර පුද්ගලයෙකු විගණකාධිපතිධුරය සඳහා පත්කිරීම ගැටලුවක් නොවන බවයි එදිනම පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිත්ස මහතා පවසා සිටියේ.
මෙවන් වාතාවරණයක් හමුවේයි විගණකාධිපතිධුරය සඳහා වන පස්වන නාම යෝජනාවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී නව විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.





