නව මැතිවරණ කොමසාරිස් ලෙස රසික පීරිස් වැඩ භාර ගනී

දිවයිනේ ප්‍රාදේශීය සභා බොහෝමයක වල මේ දිනවල පැවැත්වෙන පළාත් පාලන ආයතන අයවැය හේතුවෙන් ඒවායේ උණුසුම් තත්ත්වයන් පවතිනවා.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් විරෝධය පළ කළ අතර රීති ප්‍රශ්නයක් පැන නැගීම හේතුවෙන් රාජාංගනය නගර සභාවේ මහා සභා රැස්වීමේදී ද ගැටලු සහගත තත්ත්වයක් හට ගත්තා.
මේ අතර, සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව, එම කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වූ රසික පීරිස් මහතා එම තනතුර සඳහා පත්කර තිබෙනවා. අනුරාධපුර – රාජාංගනය ප්‍රාදේශීය සභාවේ රැස්වීම ඊයේ පැවැත්වුණු අතර, ව්‍යවස්ථානුකූලව සභා වාරය සම්බන්ධයෙන් දින 4කට පෙර සභිකයින් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී විරෝධය පළ කළා.
ඒ අනුව, ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගි නොවී පිටතට පැමිණියා.
‍ඒ අනුව විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයා ද මෙලෙස සභාවෙන් පිටතට පැමිණ සිටියා.
කෙසේ වෙතත්, ඔවුන් සඳහන් කර සිටියේ ප්‍රාදේශීය මහා සභා රැස්වීම පිළිබඳ හා එම රැස්වීමේ කටයුතු පිළිබඳව දින 4කට කලින් එක් එක් සාමාජිකයා වෙත භාර දිය යුතු වුවත්, මෙවර එසේ සිදු නොවූ බවයි.
කෙසේ වෙතත් අදාළ රීති ප්‍රශ්නය හේතුවෙන් සභාව කල් තැබීමටයි ප්‍රාදේශීය සභා සභාපතිවරයාට සිදුවූයේ.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ගාල්ල මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ ඊයේ සභා වාරය සඳහා සහභාගි වුණා.
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ශෝක යෝජනාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මාතර මහනගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද දින කලුපටි පැළඳ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනතුරුව සභා ගර්භය වෙත පැමිණීමේදී බාධා එල්ල වූ අතර එහිදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සභිකයින් අතර ඇති වූයේ උණුසුම් වචන හුවමාරුවක්.

මේ අතර කුරුණෑගල – මහව ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වූ අයවැය විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහය ලබා ගනිමින් සම්මත කර ගැනීමට පාලක ජාතික ජනබලවේගය සමත් වුණා.
එහිදී අයවැයට පක්ෂව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනා ඇතුළුව මන්ත්‍රීවරුන් 21 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 15ක් පමණයි.
මෙහිදී එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
මේ අතර, සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයෙන් පසුගියදා විශ්‍රාම ගනු ලැබුවා.
ඒ අනුව එම තනතුර සඳහා මැතිවරණ කොමිසමේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වූ රසික පීරිස් මහතා එම තනතුරට පත් කෙරුණු අතර ඒ මහතා අද උදෑසන සිය දුරයේ රාජකාරි භාරගත්තා.

Share