හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දන ගුණතිලක මහතාගේ දේහය අද පස්වරුවේ වාද්දුව සුසාන භූමියේ භූමදාන කෙරුණා. දේහය ආදාහනය කිරීමට මුලින් තිබූ සැලසුම වෙනස් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ සම්බන්ධ අධීක්ෂණය කිරීමේ අන්තරජාතික මධ්‍යස්ථානය කළ ඉල්ලීමක් මත බව ඥාතින් සඳහන් කළා. 63 වන වියෙහි පසු වූ නන්දන ගුණතිලක මහතා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා. වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කර තිබූ නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් ද ඇතුළු බොහෝ පිරිසක් අදත් එක් වුණා. අද පස්වරුවේ දේහය වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ සිට මහ වාද්දුව පොදු සුසාන භූමිය වෙත රිය පෙරහැරින් රැගෙන එනු ලැබුවා. එහිදී ආගමික වතාවත් ඉටු කෙරුණා. දේහය මිහිදන් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.





