බුදු දහමට අපහාස කළ බව කියමින්, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව පළකර සිටියා.
කණගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන් අනීතීක ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ සඳහන් කරමින් නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා කනගාටුව පළ කරන බවයි.
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා විසින් සකස් කර ඇති බව ද ඊට පෙත්සම්කාර පාර්ශවයේ එකඟතාවය පළ කර තිබෙන බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඊට අමතරව මෙම මාර්ගෝපදේශ මාලාව දින දෙකක් තුළ පොලිස් ස්ථානවලට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.
මෙම අවස්ථාවේදී පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය සහ වගඋත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති එස්.එම්.යූ. සුබසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියා
අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ පෙනී සිටි පෙත්සම්කාරියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරු සිය කනගාටුව පළ කර ඇති බවයි.
එමෙන්ම පෙත්සම සමථයට පත්කර ගැනීමට පෙත්සම්කාරිය එකඟ වීම අගය කරන බව ද අගවිනිසුරුවරයා මෙහිදී පවසා සිටියා
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට විනිසුරු මඬුල්ල තින්දු කළා.
නතාෂා එදිරිසූරිය නැමති ප්‍රහසන ශිල්පිනිය 2023 වසරේ මැයි මස 27 වන දා අත්අඩංගුවට ගෙන එම වසරේ ජූලි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව පළ කරන බවත්, එයින් පෙත්සම්කාරියගේ කීර්ති නාමයට යම් හානියක් සිදුවූයේ නම් සහ ඇයට සිදුවූ චිත්ත පීඩාව සම්බන්ධයෙන් තමන් බලවත් කනගාටුව පළ කරන බවත් වගඋත්තරකාර නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන්ව තිබුණා.
2023 වසරේ පැවති “මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනකදී පෙත්සම්කාරිය සිදු කළ ප්‍රකාශ වලින් බුදු දහමට අපහාසයක් සිදුවී ඇති බවට චෝදනා කරමින්, පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ඇතුළු පිරිසක් විසින් කරන ලද පැමිණිලි කිහිපයක් පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනු ලැබුවා
අත්අඩංගුවට ගත් ඇය, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර, දින 40කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබූ අතර, පසුව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් මත මුදා හැරුණා.
පසුව 2024 ජුනි මස 19 වැනිදා නතාෂා එදිරිසූරිය සහ ඇය ඉදිරිපත් කළ වැඩසටහන යූ ටියුබ් ඔස්සේ විකාශය කළ බෲනෝ දිවාකර ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවෙන් නිදහස් කෙරුණා
නතාෂා එදිරිසූරිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ එසේ ඇයට එරෙහිව ගොනුකර තිබූ සියලු චෝදනාවන්ගෙන් නිදහස් වීමෙන් පසුවයි.





