මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව යළි විභාග කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, මහාධිකරණය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් ලබාදුන් තීන්දුව බල රහිත කරමින්.
මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් පස්දෙනා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ 2016 දෙසැම්බර් 24 වනදා යි.
විශේෂ ජූරි සභාවක ඒකමතික තීරණයකට අනුව දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රිය පසු වී ලබා දුන් මම තීන්දුව අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනෙකු සහ කරුණා පාර්ශවයේ සාමාජිකයින් දෙදෙනෙකු නිදහස් කෙරුනා.
මෙම නඩුව සලකා බැලූ විශේෂ ජූරි සභාව ඒකමතික තීරණය කර තිබුනේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබීම මත පමණක් පදනම්ව විත්තිකරුවන්ට දඬුවම් කළ නොහැකි බවටයි.
කෙසේ වෙතත්, මහාධිකරණය ලබා දුන් මෙම තීන්දුවට එරෙහිව ගොනු කරන ලද අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරණය, විත්තිකරුවන් නිදහස් කරමින් ලබා දුන් එම තීන්දුව අවලංගු කර එම නඩුව යළි විභාග කරන ලෙසට ඊයේ නියෝග කළා.
ඒ නාවික හමුදා සාමාජිකයන් ඇතුලු විත්තිකරුවන් පස්දෙනෙකු මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවයි.
ශෂි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුන්නා.
නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් වු ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණි සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද මෙන්ම සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් සහ ෆේබියන් රොයිස්ටන් යන අයට එරෙහිව නීතිපතිවරයා 2016 වසරේ දී කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා.
පසුව විත්තිකරුවන්ගේ ඉල්ලීමකට අනුව මෙම නඩුව සිංහල භාෂාව කතා කරන සාමාජිකයන්ගෙන් සමන්විත ජූරී සභාවක් හමුවේ විභාග කළා.
මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස මේ වන විට අත්අඩංගුවේ පසුවන සම්පත් මන්ම්පේරි නොහොත් නේවි සම්පත් නම් කර තිබු අතර ඔහු සාක්ෂි ලබාදී තිබුණා.
දීර්ඝ විභාගයකින් අනතුරුව ජූරී සභාවේ එකගත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ විත්තිකරුවන් සියලු දෙනා එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.
නීතිපතිවරයා සිය අභියාචනය තුළින් සදහන් කර තිබුණේ අදාළ නඩු විභාගයේ දී ඉදිරිපත් වු සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරී සභාව වෙත වැරදි ලෙස හෝ ප්‍රමාණවත් ලෙස පැහැදිලි කර නොදුන් බවයි.
ඉන් අනතුරුව මෙම අභියාචනය විභාග කිරීමෙන් පසුව අමල් රණරාජා විනිසුරුවරයාගේ එකඟතාව ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් තීන්දුව ලබාදුන්නා.
තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කළේ කොළඹ මහාධිකරණය මෙම නඩුවේ තීන්දුව ලබාදී තිබෙන්නේ මධ්‍යම රාත්‍රීය පසුවී පෙරවරු 12.50ට බවයි.
මෙය අසාමාන්‍ය තත්ත්වයක් බවත් විනිසුරුවරයා පවසනවා.
මෙම නඩුවේ දී සම්පත් මනම්පේරි නැමැත්තෙකු සාක්ෂි ලබාදුන් අතර ඔහුගේ සාක්ෂි තුළින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වි තිබෙන බව පැහැදිලි යැයි කියා සිටි විනිසුරුවරයා එම සාක්ෂි පිළිබද ප්‍රමාණවත් ලෙස ජූරී සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නොමැති බවට නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කය පිළිගන්නා බව ද පැවසුවා.
මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් වු සාක්ෂිවල සාක්ෂිමය වටිනාමක් තිබුණත් ඒ සම්බන්ධයෙන් ජූරී සභාවට නිසි ලෙස උපදෙස් දීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.
2016 වසරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා වූයේ මාණිලාල් වෛද්‍යතිලකයි.





