ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සහය පල කරමින් දිවයින පුරා මා දැල් ධීවරයින් අද කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මෙම සත්‍යග්‍රහය අද පැවැත්වෙන්නේ අඛණ්ඩව පස්වැනි දිනටයි.
මේ අතර, ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ලබන 27 වැනිදා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු තීන්දුවකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඉපැරණි සාම්ප්‍රදායික පන්න ක්‍රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයේ නියැලි ධීවරයින් පසු කාලීනව මා දැල ඇදීම සඳහා යන්ත්‍ර උපකරණ භාවිතයට ගැනීම ආරම්භ කලා.
එවන් එක් ක්‍රමයක් වන වින්ච් හෙවත් යාන්ත්‍රික ඇදීමේ ක්‍රමයට මා දැල් ධීවර කර්මාන්තයේ නිරත වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කළා.
ඊට විරෝධය පළ කරමින් ඉකුත් පස්වැනිදා මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඊට කල්පිටිය, මුලතිව්, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ධීවරයින් එක්ව සිටි අතර, ඔවුන් මේ වන විට දින පහක කාලයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිනවා.
මේ අතර, සත්‍යග්‍රහයේ නිරත වන ධීවරයින්ගේ සහයට ඔවුන්ගේ පවුල්ගේ සාමාජිකයින්ද අද එක්ව සිටියා.
අද දිනයෙත් රෝහිත අබේගුණවර්ධන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණියා. මන්ත්‍රිවරයා මෙහිදී ධීවර අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබා ගත්තා. මේ අතර අද පස්වරුවේ විරෝධතාවයේ නිරත ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පා ගමනින් යාමට උත්සහ දැරීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. එහිදී ධීවරයින් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිතයෙකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වුවද ධීවරයින් පවසන්නේ ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලැබෙන තුරු තම විරෝධතාවය අවසන් නොකරන බවයි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මාදැල් ධීවරයින්ගේ විරෝධතාවයට සමඟාමිව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වින්ච් ක්‍රමයට මාදැල් අදින ධීවරයින් අද රැකියාවෙන් ඉවත් වුණා.
කෙසේ වෙතත් සාම්ප්‍රදායික මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙනන් සුපුරුදු පරිදි තම රැකියාවේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර අද පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවේදී මෙම මාදැල් විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදී ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මීට අදාළ නඩුවේ තීන්දුව ලැබෙන තුරු ඉදිරි ක්‍රියාමාර්ග ගත නොහැකි බවයි.





