රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුරගෙන යාමට අද රැස්වූ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එම සංගමය පවසනවා.
කෙසේ වෙතත් හෙට දිනයේ සංගමයේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන මේ ගැටලුව විසඳා ගැනීම සඳහා හැකිනම් අධිකරණය ඉදිරියට පැමිනෙන ලෙසයි.
නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් ශ්‍රේණිධාරී වෛද්‍යවරුන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන මැදිහත්වීම් හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අක්රමිකතාවන්ට විරුද්ධව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර තිබෙනවා.
මීට සිය විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයකත් නිරත වුණා.
බ්‍රහස්පතින්දා ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ උදෑසන අටට අවසන් කෙරුණද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් අද උදෑසන 8ටේ සිට නැවතත් වඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවුනා.
මෙම වර්ජනය හේතුවෙන් අද දිවයින පුරා සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනවල සායනික සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර, හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පමණක් ක්‍රියාත්මක කෙරුණා.
මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
කෙසේ වෙතත් හෙට සිය සංගමයේ විධායක සභාව රැස්ව අවසන් තීරණයක් ගන්නා තුරු මෙම වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට අද පෙරවරුවේ රැස්වූ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන, සිය ගැටලුව අධිකරණය හරහා නිරාකරණය කරගන්නා ලෙසට දන්වා සිටින බවයි.
කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනයට සහය නොදක්වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
වෛද්‍ය ශිෂ්‍යයෙක් තම සීමාවාසික කාලය සම්පූර්ණ කළ පසු හිමිවන පළමු ස්ථිර රාජකාරි පත්වීම, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම ලෙස සැලකෙනවා.
එය අමාත්‍යංශය වෙත ගොස් අදාළ පෝරම පුරවා සිදුකළ යුතු ක්‍රියාවලීන් සමූහයක එකතුවක්ද වනවා.
කෙසේවෙතත් පශ්චාත් සීමාවාසික පත්වීම සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය අද දහවල් 12ට අවසන් වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ටීවී සුප්‍රීම් නිව්ස්කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, පශ්චාත් සීමාවාසික පත්වීම් පුරප්පාඩු 453 කින්, 396 දෙනෙකුම අද පස්වරු 1 වන විටත් සිය අයදුම් කිරීම් තහවුරු කර තිබූ බවයි.





