දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බවයි.
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා
මෙම ගැටලුව විසඳීමේදි ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන-වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා
එසේම අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඉන් 40%ක් බීජ මිලදී ගැනීමේ වියදම බවත් මෙහිදී ගොවීන් පෙන්වා දී තිබෙනවා.
එහි දී අනාවරණ වුණේ වගාවට පොහොර යෙදීමේ අක්‍රමවත් බව, නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි යෙදවුම් නිසා අස්වැන්න පහත වැටීම, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නොමැති වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් අර්තාපල් නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතු වී ඇති බවයි.
මෙතෙක් කලක් අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු රජයක් මෙවැනි සාකච්ඡාවක් ලබා නොදුන් බවත්, තම ගැටලුවලට වත්මන් රජය යටතේ විසඳුම් ලැබෙනු ඇතැ’යි අපේක්ෂා කරන බවත් ගොවීන් පැවසූ බව සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.
ඉදිරිපත් වු කරුණු සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ සතොස සමඟ එක්ව රුපියල් 200 ත් 300ත් අතර මිලකට අර්තාපල් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ආනයනික අර්තාපල් සඳහා පනවන බද්ද වැඩි කිරිම සම්බන්ධයෙන් සලකා බලන බවයි.
ගොවීන්ට සහනාධාරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා.
අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
රටේ වාර්ෂික අර්තාපල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 225,000ක් පමණ වන අතර, එයින් මෙරට නිෂ්පාදනය කෙරෙනුයේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 70,000ක්- 80,000ක් පමණයි.





