පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
විවෘත අධිකරණය ඇමතු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වග උත්තර කාර හිටපු පොලිස්පතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යෝජනාවකට අනුව ධුරයෙන් නෙරපා හැර තිබෙන බව පෙන්වා දුන්නා.
එවැනි තත්ත්වයක් යටතේ මෙම නඩුකර විභාග කිරීම ” පාලු ගෙදර වලං බිඳීම” වැනි ක්‍රියාවක් විය හැකි බවත් අගවිනිසුරුවරයා සඳහන් කළා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙක් වශයෙන් නම් කර සිටින වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ලේකම්වරයා මාර්ගයෙන් ඉකුත් වසරේ ජනවාරි මස 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව අනුගමනය කළ ක්‍රියාපටිපාටිය දෝෂ සහගත යැයි ප්‍රකාශ කර ඇති බවයි.
එම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන එම කරුණ අධිකරණය හමුවේ සටහන් තැබීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට එකඟතාවය පළ කළා.





