දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් යළි අවධාරණය කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළා.
මේ අතර කොටගල සිට අඹේවෙළ දක්වා නාය ගිය දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරිමට දුම්රිය මාර්ග නඩත්තු අංශයයේ සේවා දුම්රියක් යෙදවිමට පියවර ගෙන තිබෙනවා.
මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සදහන් කරනවා.
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බවයි එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා කියා සිටියේ.
මේ අතර පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
එහි සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගතහැකි බවයි.
දිට්වා සුළි කුණාටුව සහ නායයෑම් හේතුවෙන් මෙරටට බලපෑ ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් යොදවා ඇති සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම විසින් රජතලාව ප්‍රදේශයේ ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුරදී දේහයන් 08 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
මීට අමතරව, මෙම කණ්ඩායමේ වෛද්‍ය හා ගිලන් රථ ඒකකය විසින් සිද්ධිය වූ ස්ථානයේදී තුවාල ලැබූ තවත් පුද්ගලයන් 08 දෙනෙකුට ප්‍රථමාධාර ලබා දී තිබෙනවා.
ඒ අනුව, මෙලෙස මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම විසින් සොයා ගනු ලැබූ මුළු සිරුරු සංඛ්‍යාව 18ක්.





