පසුගිය දින කීපය තුල දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කෙටි කාලයක් තුළ වාර්තා වූ වැඩිම නායෑම් සංඛ්‍යාවක් වාර්තා වුනා.
ස්වභාවික ආපදා යනු අපට ආගන්තුක කාරණාවක් නොවුනත් මේ ස්වභාවික විපත අපට රටක් ලෙස කිසිසේත් දරාගත නොහැකි මට්ටමේ විපතක්.
ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 20,000 ක්, ආසන්න වශයෙන් භූමි ප්‍රමානයෙන් 30% ක් පමණ නායයෑම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ අතරින් වඩි අවධානමක් ඇත්තේ ප්‍රධාන වශයෙන් ම මධ්‍යම කඳුකරයේ සහ අවට තෙත් කලාපීය දිස්ත්‍රික්කවලටයි.
මොකක්ද මේ නාය යෑම් කියන්නේ.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක්.
භූ විෂමතාව අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 න් දහතුනකම නායයෑම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ පිහිටා තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙවත් NBRO නායයෑම් අවදානම් කලාප සිතියම පෙන්වා දෙන්නේ.
ඒ අනුව මහනුවර, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන ප්‍රදේශවල නාය යෑමේ ඉහල සම්භාවිතාවක් පෙන්නුම් කරනවා.
මේ හරුණු විට අනෙකුත් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක අතරට නුවරඑළිය, මාතලේ, ගාල්ල, මාතර, කළුතර සහ හම්බන්තොටත් ඇතුළත්.
වඩාත් වැදගත් කාරණය වන්නේ රටේ සමස්ත ජනගහනයෙන් 30% ත් 38%ත් අතර සංඛ්‍යාවක් මෙලෙස නාය යැමේ අවධානමට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වීමයි.
කඳු නාය යෑමක් සිදුවන්නේ කෙසේද?
නාය යෑමක් යනු හුදෙක් එක්වරම කන්දක් කඩාගෙන වැටීමක් ම නොවෙයි.
එය කාලයක් පුරාවට සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.
දැඩි වර්ෂාපතනයක් සිදුවන ඕනෑම කාලයක කඳුකර පළාත්වලින් නාය යෑමේ සිදුවීම් වාර්තා වීම අපට අලුත් දෙයක් නොවේ.
පාරිසරික වෙනස්කමක ප්‍රතිඵලයක් වන මෙය ස්වභාවික අපදා තත්ත්වයක්.
දින තුනක කාලයක් තුළ මිලිමීටර් 200 ක පමණ දැඩි අඛණ්ඩ වර්ෂාපතනයක් කඳුකර පලාතකට ඇද හැලුනොත් බොහෝ විට එම ප්‍රදේශයේ ඇති දුර්වල මතුපිට ස්තරයක් නාය යෑමට ඉඩ තිබෙනවා.
එසේ නම් දින තුනක කාලයක් තුළ මිලිමීටර 300 සිට 500ත් ඉක්මවූ දැඩි වර්ෂාපතනයක් සිදුවන විටදී කඳුකර පළාත්වලට සිදු කෙරෙන ව්‍යසනකාරී බලපෑම කොතරම් දැයි ඔබට සිතාගත හැකිද?
මෑත කාලීන නාය යෑම් සම්බන්ධයෙන් සෘජුවම බලපෑම් නොකෙරුණත් යම් යම් මිනිස් ක්‍රියාකාරකම් හරහාත් නාය යෑමේ අවදානම් ගොඩනැගෙන්නට පුළුවන්.
කළුගල් කැඩිම ආදිය සදහා ඇති කරන කෘතීම පිපිරවීම් නිසා ඇති වන කම්පන හේතුවෙන් කදු බැවුම් දුර්වල වී පහලට කඩා වැටීම, ස්වභාවික ජල මාර්ග අවහිර කිරීම, කඳු ආශ්‍රිතව සිදු කරන අවිධිමත් වගා ක්‍රම, පැරණි නාය ගිය භුමි ආශ්‍රිතව නව ඉදි කිරීම් සිදු කිරීම ඒ අතරින් කිහිපයක්.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත වලට අනුව සාමාන්‍යයෙන් අංශක 15- 45 අතර ආනතියක් සහිත මතුපිටක් ඇති කඳු බෑවුම් නාය යෑමේ වැඩි අවධානමක් ඇති ප්‍රදේශ ලෙස හඳුන්වනවා.
එමෙන්ම අංශක 26 -35 අතර කදු බෑවුම් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හඳුන්වන්නේ නාය යෑම් සදහා වැඩිම අවදානමක් ඇති බෑවුම් ලෙසයි.
කන්දක් නිර්මාණය වන්නේ මව් පාෂාණය මත වසර මිලියන ගනනාවක් පුරා සිදුවන පාරිසරික වෙනස්කම් සමග.
මෙලෙස නිර්මාණය වන කන්දකට කාලයත් සමඟ අලුත් පාෂාණ තට්ටුවක් මව් පාෂාණය මත තැම්පත් වෙනවා.
කෙටි කලක් තුල තදින් වැසි ඇද හැලීමත් සමග මෙලෙස අලුතින් තැම්පත් වූ පාෂාණ තට්ටුව අධික ලෙස ජලය උරා ගන්නවා.
මේ නිසා එහි බර වැඩිවන අතරම මෙලෙස උරා ගන්නා ජලය මෙම පාෂාණ තට්ටුව අතරින් ගොස් මව් පාෂාණ තට්ටුව අතරින් ගලා යාමට පටන් ගන්නවා.
එවිට සිදුවන්නේ එම ස්ථර දෙක අතර ඇති ඒකාබද්ධතාවය බිඳ වැටීමයි.
අවසානයේ කන්දේ ආනතියත් සමග අලුත් පාෂාණ තට්ටුව පහලට කඩා වැටෙනවා.
නාය යෑමක් ලෙස හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.
මේ නාය යෑම් තත්ත්වයක් හඳුනා ගන්නේ කොහොමද?
අපි මුලින් කිව්ව ආකාරයේ විශාල ආනතියක් තියෙන ප්‍රදේශයක පදිංචි වෙලා ඉන්න එහෙමත් නැත්නම් තමන් පදිංචිලා ඉන්න තැනට ඉහළින් ඒ වගේ ආනතියක් තියෙන පදිංචිකරුවන් දැඩි වර්ෂාපතනයක් සිදුවන අවස්ථාවකදී තමන්ගේ වටපිටාව පිළිබඳ වැඩි අවධානයකින් ඉන්න ඕනේ.
මේ කදු බැවුම් ප්‍රදේශ ආශ්‍රිතව පැලුම් ඇති වෙනවා ද ඒවා ක්‍රමයෙන් විශාල වෙනවා ද කියන එක බලන්න.
එහෙම වෙන්නේ නම් ඒ නායයෑම් තත්ත්වයක මුලික ලක්ෂණයක් වෙන්න පුළුවන්.
ඒ වගේම කදු ආශ්‍රිත ජල උල්පත් සිඳීයාම, උල්පත් නොතිබූ ස්ථාන වල අලුත් උල්පත් ඇති වීම, උල්පත් වල ජලය මඩ සහිත වීමත් එවැනි ලක්ෂණයක්.
කදු බැවුම් වල ඇති ගස්, විදුලි කණු ආදීය බැවුම් ප්‍රදේශයට ඇල වීම, බැවුම් ප්‍රදේශ වල සරුවට වැවීලා තියෙන පොල්, පුවක් වගේ ගස් හදිසියේ මැරි යාම, ගොඩනැගිලි බිත්ති පිපිරියාම, වගේ දේවල් වෙනවා නම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.
මොකද ඒ ඉදිරියේ සිදුවන්නට නියමිත නාය යෑමක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් වෙන්නට පුළුවන් නිසාවෙන්.
ඊටත් අමතරව සතුන්ගේ සහ පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවන් හරහාත් නායයාමක පුර්ව ලක්ෂණ හදුනා ගන්නට පුළුවන්.
ඔබ කිසිසේත් නොසිතන ඛේදවාචකයක් කැඳවාගෙන එන නාය යෑම් තත්ත්වයන් වළක්වා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරද්දී එය යම් තරමකින් හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබෙන්නේත් අපගේ ක්‍රියාකාරකම් හරහාමයි.
කඳුකර ප්‍රදේශවල ජලය පහසුවෙන් බැස යාමට හැකි වන ලෙස කාණු පද්ධති සකස් කිරීම, කඳු මුදුන් වල වන වගාවන් සහ විශේෂයෙන්ම ඉදි කිරීම් නියමිත ප්‍රමිතියට සිදු කිරීම ඒ අතරින් ප්‍රමුඛයි.
මේ හැරුණු විට, පැරණි නාය යාම් සිදු වූ ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කිරීම, කඳුකර වනාන්තර විනාශයන් නවතා නව වන වගාවන් කිරීම ආදිය නාය යෑම් අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග වනවා.
හැබැයි මේ මොන දේ කළත් දින තුනක් වගේ ඇතුලත මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතන අගයන් දහයක් විතර වාර්තා වන වැස්සක් කඩා හැලුණොත් නාය යෑම් අතින් අල්ලලා නවත්තන්න බෑ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වසර 2018 දක්වා වන දත්ත අනුව ඒ වන විට අපේ රටේ ලේඛනගත නායයෑම් 3,000 කට අධික සංඛ්‍යාවක් වාර්ථා වෙනවා.
ඒ දත්ත පෙන්වා දෙන්නේ 2007 – 2017 දශකය තුළ නායයෑම් හේතුවෙන් ජීවිත 800 කට වඩා අහිමි වී අති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව මෑත ඉතිහාසයේ වැඩිම නාය යෑම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ 2017 වසරේ මැයි මාසයේදී.
ඒ මාසය තුළ පමණක් සැලකිය යුතු අලාභ හානි සිදුවූ නාය යෑම් තිස්පහක් වාර්තා වී තිබෙනවා.
නමුත් පසුගිය නොවැම්බර් මාසයේ අවසන් දින තුන තුළ සිදු වූ ප්‍රධාන ගණයේ නාය යම් සංඛ්‍යාව මේ සියලු වාර්තා අභිබවා යනවා.
කෙසේ වෙතත් තවමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට රට පුරා සිදුවූ පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් නිශ්චිත ගණනයක් කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.





