දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මක බවයි ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර, වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම යාවත්කාලින කිරීමේ සඳහන්.
එමෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට අද පස්වරුවේ මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව මෙම නිවේදනයේ දැක්වෙනවා.
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති බවටත් ඔවුන් පුරෝකතනය කරනවා.
මේ අතර වැල්ලවාය සහ අලිකොට ආර ජලාශ පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු 3ම අඩි 2 බැගින් විවෘත කෙරුණා.

බදුල්ල දිස්ත්‍රික්කයටද දින කිහිපයක සිට ඇදැ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ – උල්හිටිය රත්කිද මහවැලි ජලාශ ජල මට්ටම ද සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු දින කිහිපයක සිට විවෘත කර තිබෙනවා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන හෙට පෙරවරු 8 දක්වා බලාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අදියර දෙක යටතේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද විමසිලිමත්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා තිබෙනවා
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් අම්පාර උහන ප්‍රදේශයේ වී අස්වනු නෙලීමට තිබූ කුඹුරු රැසක් ඡලයෙන් යටවීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

Share