දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට ශ්‍රමිකයන් ලක්ෂ තුන හමාරකට අධික සංඛ්‍යාවක් බලපෑමට ලක්ව ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ බලපෑමට ලක්වූ ශ්‍රමිකයන්ට යළි රැකියා සොයාගැනීමට නොහැකි වුවහොත් එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 48ක පමණ මාසික ආදායමක් රටට අහිමි වන බවයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් මෙරට රැකියා නියුක්තිකයන් 374,000ක පමණ පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.
එම පර්යේෂණයක වාර්තාව මගින් ඔවුන් පෙන්වා දෙන්නේ බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන්ට යළි රැකියා සොයාගැනීමට නොහැකිවුවහොත් ඒ හරහා රටට අමෙරිකානු ඩොලර් මිලියන 48ක පමණ මාසික ආදායමක් අහිමි වන බවයි.
සුළි කුණාටුව හේතුවෙන් මෙරට සමස්ත ජනගහනයෙන් 7.5%කට එනම් පුද්ගලයින් මිලියන 1.7කට බලපෑම් එල්ල වී ඇති අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් 16%ක් පමණ අවදානමට ලක්කර ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.
එමෙන්ම මෙම ආපදාවට ඍජුව නිරාවරණය වූ කෘෂිකර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තයට ද ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.
ගංවතුර තත්ත්වයෙන් මෙරට සමස්ත කුඹුරු වගාබිම් ප්‍රමාණයෙන් 23%කට පමණ හානි සිදුව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.
එමෙන්ම පුද්ගලයින් මිලියන 2.5කට අධික පිරිසක් සේවය කරන සහ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක පමණ අපනයන දායකත්වයක් ලබාදෙන මධ්‍ය කඳුකර තේ වගා භූමි රැසක් නායයෑමට ලක්වීම හේතුවෙන් තේ නිෂ්පාදනය ද 35%කින් පමණ පහළ යනු ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත්වලට රුපියල් මිලියන 200කට ආසන්න හානියක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.





