දිට්වා හැඩි කළ ජීවිත

නොවැම්බර් අග භාගයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 640දෙනෙකු දක්වා ඉහළ ගොස් තවත් පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කල නවතම වාර්තාවේ සදහන්.
මේ අතර ‘දිට්වා’ සුළු කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදු කිරීමට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව ආපදාව හේතුවෙන් විනාශ වූ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437ක තොරතුරු ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
මේ අතර ආපදාව හේතුවෙන් විනාශයට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා 0712 666 660 යන දුරකථන අංකය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම තොරතුරු එළැඹෙන 16 වැනි දින පස්වරු 2ට පෙර ලබාදීම සිදුකළ යුතු බවත් ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කිරීම සඳහා www.industry.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද සිදුකළ හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුරට හසුවූ කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10කින් සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා සදහන් කරනවා.
ඔහු සදහන් කරන්නේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බවයි.
ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල තවත් ටොන් 10,000ක, 12,000ක පමණ කසළ එක්රැස්වී ඇති බවත් ඔහු පැවසුවා.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීරආරච්චි මහතා සඳහන් කළේ නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කිරීමෙන් පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බවයි.
මෙහිදී අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්‍ෂිත බවට පත් කිරීමට තීරණය කළහොත් දීමනා බලපත්‍ර හිමි ඉඩම් සඳහා වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් හෝ නැවත ඉඩමක් ලබාදීමට සූදානම් බවද ඔහු සදහන් කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලම, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03ක් මේ වන විට වාන් දමන බවයි.
මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන එක් ජලාශයක ද මේවන විට වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඊට අමතරව පොළොන්රුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ තුනක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයක් වාන් දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර වරින් වර අනුරාධපුරයට පවතින වර්ෂාපතනය හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් මේ වනවිට විවෘත කර ඇති බව එම ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සදහන් කළා. මේ අතර පවතින වැසි තත්වයේ වැඩි විමත් සමග නැවතත් රාජාංගන ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි 3184 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හරින බවයි රාජාංගනය වාරි ඉංජිනේරුවරයා පවසා සිටියේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානියට පත් බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන නිරීක්‍ෂණයට එක් වෙමින් කියා සිටියේ හානියට පත් සහ අවදානම් සහිත සියලු ආගමික සිද්ධස්ථානවල තක්සේරු වාර්තා සැකසීම අරඹා ඇති බවයි.

මේ අතර පැවති සහ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයටද යම් බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරය ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසනවා. මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 640දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලා.
එම මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පවුල් 473,138 කට අයත් 1,637,960දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඉන් පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රදවා සිටිනවා.
පැවති ආපදා වලින් පූර්ණ නිවාස හානි 5,713ක් සිදුව ඇති අතර තවත් නිවාස 104,805කට අර්ධ හානි සිදුව ඇති බව ද එම නිවේදනයේ සදහන්.

මේ අතර තලවාකැලේ, වටගොඩ, යෝක්ස්ෆෝඩ් වත්තේ නායයෑමේ අවදානම හේතුවෙන් සහන කඳවුරුවල රැඳී සිටින පිරිස්වලට වහාම එතැනින් ඉවත් වන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බව එම ප්‍රදේශවල පීඩාවට පත් ජනතාව පවසනවා.
මෙම වත්තේ ඉඩම් ගිලා බැසීමට ලක් වූ අතර, පේළි නිවාසවල පැලුම් ඇති විම හේතුවෙන් පවුල් 45කට අයත් පුද්ගලයන් 108 දෙනෙකු ඉවත් කර වත්තේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් ලබා දී තිබෙනවා.
නිවාස වල අනතුරුදායක තත්ත්වය නොසලකා නැවත එම නිවාසවලම පදිංචියට යන ලෙස වතු පාලනාධිකාරිය බලපෑම් කරන බවයි මෙම ජනතාව කියා සිටින්නේ.

මේ අතර ගංවතුරෙන් වැඩිම බලපෑමකට ලක් වූ සෙරුණුවර නීල පොළ ,දෙහිවත්ත මහවැලි ආරක්ෂණ වේල්ලේ කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුතු වාරිමර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා
මාවිල් ආරු ජලාශයේ බැම්ම බිඳී යාමත් සමග නීලපොළ දෙහිවත්ත සෝමපුර වැනි ගම්මාන සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කර තිබූ ආරක්ෂණ වේල්ලට දැඩි හානි සිදුව තිබුණා.
යුද හමුදාවේ සහ රාජ්‍ය ආයතනවල සාමාජිකයන්ගේ ද ශ්‍රමදායකත්වයෙන් ආරක්ෂණවේල්ල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අරඹා තිබෙනවා.

මේ අතර හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අරලිය සමූහ ව්‍යාපාරය මඟින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් අද දින එම ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ලබා දී තිබෙනවා.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඔහුගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබෙනවා.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා ජනන්දි සඳනිකා මහත්මිය සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ඇය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනැමුවා.

මේ අතර දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී තරංග ආකාරයේ කැලඹීම්, අඩුපීඩන කලාප සහ අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත්කල නිවේදනයේ සදහන්.
මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Share