දිට්වා නිසා සිදු වු හානිය මුදලින් මැනිය නොහැකි තරම්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු ව ඇත්තේ මින් පෙර නොවූ විරූ තත්ත්වයකටයි.
මෙම ඛේදවාචකයයෙන් අහිමි වූ මිනිස් ජීවිත මෙන්ම නිවාස, මාර්ග සහ ජිවනෝපායන් සඳහා වූ හානිය මුදලින් මැනිය නොහැකි තරම්.

මේ මොහොතේ දිට්වා හේතුවෙන් සිදු වූ විනාශය පිළිබඳ එකිනෙකාට චෝදනා කිරීම අර්ථ විරහිත ක්‍රියාවක්.
වඩාත් වැදගත් වන්නේ අප ජාතියක් ලෙස යළි ගොඩ නඟන්නේ කෙසේ ද යන්නයි.
එය හුදෙක් යළි ගොඩනැඟීමක් ම නොවිය යුතු අතර තිබුණු තත්ත්වයටත් වඩා හොඳ නැගී සිටීමක් විය යුතුව තිබෙනවා.
මෙය ලෙහෙසි පහසු අභියෝගයක් නොවන්නේ දැනටමත් රටක් ලෙස අපි දරුණු ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් සිටින නිසාවෙන්.

රට යළි ගොඩ නැගීමේ දී අපි පිළිගත යුතු ප්‍රධාන කරුණක් නම් ප්‍රශ්නය ඇත්තේ මුදල් සම්බන්ධයෙන් නොව රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය මත බවයි. ‍ආණ්ඩුවට මුදල් සොයා ගැනීමට හැකියාව ඇති අතර බහුපාර්ශ්වික ආයතන, මිත්‍ර රටවල් දැනටමත් සහයෝගයේ දෑත් දිගු කර අවසන්. නමුත් ප්‍රමාදවීම් සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රනයේ නිලධාරීවාදය සහ ක්‍රියාපටිපාටීන් නිසා බව අතීතය අපිට කියාදෙන කටුක සත්‍යයක්. සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට වුවමනාවටත් වඩා අරමුදල් ලැබුණු නමුත් ඒවා නිසි ලෙස නියමිත ආකාරයට විනිවිද භාවයක් ඇතිව වියදම් කෙරුණේ නැහැ. ඒ අතීතය නැවතත් ප්‍රතිනිර්මාණය නොවීමට නම් ප්‍රධාන කුලුණු හතරක් එක්ව වැඩ කළ යුතුයි.

උපායමාර්ගික ස්ථරය වන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉන් ප්‍රධාන කුලුණයි.
ඔවුන් පැහැදිලි ප්‍රමුඛතා සකස් කර නැවත ගොඩනැගීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගත යුතු වනවා.
ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය සඳහා තීරණාත්මක වන මාර්ග, පාලම්, පාසල්, රෝහල්, වැව් සහ අනෙකුත් පොදු යටිතල පහසුකම් සඳහා වහාම අවධානය යොමු කළ යුතුයි.
අරමුදල් ඉක්මනින් සහ පුරෝකථනය කළ හැකි ලෙස නිකුත් කළ යුතු භාණ්ඩාගාර සහ මූල්‍ය ස්ථරය දෙවැන්නැයි.
2025 මුල් මාස 11 තුළ ආදායම් කාර්ය සාධනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳ වීම මෙම හදිසි අවස්ථාවේ මුදල් වියදම් කිරීම සඳහා වඩා පහසු තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.
නමුත් වඩා වැදගත් වන්නේ කොපමණ මුදලක් වෙන් කරනවාද යන්න පමණක් නොව එය අදාළ ආයතන වෙත කෙතරම් ඉක්මනින් ලබා දෙනවා ද යන්නයි.
තෙවැන්න මෙහෙයුම් ස්ථරයයි.
මෙහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් අධිකාරීන් සහ පළාත් පාලන ආයතන ඉදිරි පෙළ ක්‍රියාකාරීන් වනවා.
හදිසි කාර්යයන් සඳහා ඔවුන්ගේ වියදම් සීමාවන් ඉහළ නැංවිය යුතු අතර ඊට අදාළ ලංසු කැඳවීමේ පටිපාටි ද සරල කළ යුතුයි.
සෑම මාර්ගයක්,වැවක්, වේල්ලක්, බෝක්කුවක් සහ කුඩා පාලමක් සඳහාම මධ්‍යම යාන්ත්‍රණයෙන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටියහොත් යළි ගොඩනැගීම වසර ගණනාවක් ඇදී යනු ඇති.
සිව්වැන්න පාලනය සහ විනිවිදභාවයයි.
වේගවත් වියදම් කිරීම යනු සිත් සේ කටයුතු කිරීම නොවෙයි.
මෙහිදී හුදෙක් අවසානයේ වාර්තාවක් ලිවීමට සීමා නොවී විගණකාධිපති දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම මේ හා සම්බන්ධ විය යුතු බව අපගේ අදහසයි.
සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා හදිසි ප්‍රසම්පාදනය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කිරීම වඩා සාධනීය විය හැකියි.
ප්‍රධාන පාලම් සහ A හා B ශ්‍රේණියේ මාර්ග මධ්‍යම අමාත්‍යාංශ යටතේ පැවතිය හැකි නමුත් සුන්බුන් පිරිසිදු කිරීම, ග්‍රාමීය මාර්ග අලුත්වැඩියා කිරීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ බලපෑමට ලක් වූ නිවාසවලට උපකාර කිරීම විමධ්‍යගත කළ හැකි කාර්යයන් වනවා.
ඒ සමඟම, රජය 2026 අයවැය නැවත සලකා බැලිය යුතු බව මෙරට ප්‍රමුඛතම ආර්ථික පර්යේෂකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ හදිසි නොවන නමුත් සැලසුම් කර ඇති ඇතැම් වියදම් නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ සඳහා නැවත සැලසුම් කිරීමට සිදුවනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සංවාදයකින් අත්‍යවශ්‍ය ප්‍රතිසාධන වියදම් සඳහා ඉඩ ලබා දෙමින් සංශෝධිත අයවැය විස්තීර්ණ ණය වැඩසටහනට අනුකූලව පවතින පරිදි සමහර ඉලක්ක වෙනස් කළ යුතු බව ද ඔහුගේ අදහසයි.

සාමාන්‍යයෙන් රජයක් බලයට පත්වීමෙන් පසු මාස තුනේ සිට හය දක්වා දක්වා කාලයක් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථාව සලසා දෙනවා. මෙවන් පරිමාණයේ අර්බුදයක් ද ලබා දෙන්නේ එවැනිම අවස්ථාවක්. තම ජීවිත සහ ජීවනෝපායන් අවදානමට ලක්ව ඇති විට වෙනසක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගන්නවා. ආණ්ඩුවට මෙය නිවැරදි දිශාවට මෙහෙයවීමට හැකි නම්, දිට්වා ඛේදවාචකයක් පමණක් නොව, ශක්තිමත්, සාධාරණ සහ වඩාත් ඔරොත්තු දෙන ශ්‍රී ලාංකික ආර්ථිකයක්, සමාජයක් ගොඩනැගීම සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් ද වනු ඇති.

Share