දඹුල්ල ප්‍රභාශ්වර නම් එළවලු පලතුරු කල් තබා ගැනීමේ ගබඩාව තවමත් අක්‍රියයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉන්දියානු ආධාර මත ඉදිකළ ප්‍රභාශ්වර නම් එළවලු පලතුරු කල් තබා ගැනීමේ ගබඩා සංකීර්ණය පසුගිය වසරේ විවෘත කළද මේ වන තෙක් ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරනවා.
අදාළ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඔහු පෙන්වා දුන්නේ ගබඩා සංකීර්ණය අවට ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා වෙන් කර තිබූ භූමිය පෞද්ගලික ශීතාගාර පහසුකම් ඉදිකිරීම සඳහා ලබා දී ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් උෂ්ණත්ව තෙතමන පාලිත ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ වුණේ 2019 වසරේ දී.
ඉන්දීය ආධාර යටතේ ඉදිකළ මෙම ගබඩා සංකීර්ණය පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය අතරතුර ජනතා අයිතියට පත් කරනු ලැබුවා.
නමුත් මේ දක්වා ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ දඹුල්ලට පැමිණියා. ආහාර දෙපාර්තමේන්තුව මගින් යොදවා සිටින ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ කිසිදු අයෙකුට මෙම ශිතාගාරයට ඇතුලුවීමට අවසර ලබා නොදෙන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයා අවට ප්‍රදේශය පමණක් නිරීක්ෂණය කළා.
එහිදී අනාවරණ වුණේ ගබඩා සංකීර්ණය අවට ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට වෙන්කර තිබූ රජයේ ඉඩම්වල පෞද්ගලික ශිතාගාර පහසුකම් පවත්වාගෙන යන බවයි.

Share