දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට නියම කර තිබෙනවා.
ඒ රට තුළ හදිසි හමුදා පාලනයක් පනවා කැරැල්ලක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවට වරදකරු වීමත් සමගයි.
2024 දෙසැම්බර් 3 වන දින පාර්ලිමේන්තුව මුද්‍රා තැබීමට හමුදා යෙදවීමෙන් සහ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බවටත්, ඔහුගේ ක්‍රියාව, දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වශයෙන් හානි කළ බවත්, සභාපති විනිසුරු ජි ග්වි-යෝන් අධිකරණය හමුවේ සඳහන් කළා.
නඩු පවරන්නන් හිටපු ජනාධිපතිවරයාට මරණ දඬුවම ඉල්ලා සිටිය ද මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමටයි අධිකරණය තීන්දු කළේ.
නඩු විභාගයට පෙර යූන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් උසාවියෙන් පිටත රැස්ව, “යූන්, නැවතත්” යනුවෙන් සඳහන් බැනර් අතැතිව සිටිය ද තීන්දුවෙන් පසු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කඳුළු සැලු බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share