දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශිෂ්ට ජයක්

2026 විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිය අවසන් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති මෙම තරගයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ කඩුලු 6කින්.
මේ අතර, ඒ කාණ්ඩයෙන් සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට පාකිස්ථානය අද සමත් වුණා.
මෙවර t20 ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය ඉනිම වෙනුවෙන් අලීෂාන් ශරෆු ලකුණු 45ක් රැස් කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෝබින් බොෂ් ලකුණු 12කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ඇන්රිච් නෝර්ට්ජේ කඩුලු 2ක් දවාගත්තා.
ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 13යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ තමන් මෙම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් බව යළිත් පසක් කරමින්.
ඉනිම වේගවත් කළ නායක ඒඩන් මාක්‍රම් පන්දු 11කින් ලකුණු 28ක් රැස් කළ අතර, ඩෙවල්ඩ් බ්‍රෙවිස් නොදැවී ලකුණු 36ක් ලබාගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකාව ‘D’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.

ඒ් කාණ්ඩයෙන් පාකිස්තානය සහ නැමීබියාව අතර තරගය අද කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුණා.
මෙම ඉනිම වර්ණවත් කළ සාහිබ්සාදා ෆර්හාන් පන්දු 58කදී සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඔහුට අනගි සහයක් ලබාදුන් නායක සල්මන් අලි ආගා ලකුණු 38ක් ද, ශදාබ් ඛාන් වේගවත් ලකුණු 36ක් ද ලබා ගත්තා.
නැමීබියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජැක් බ්‍රැ‌සෙල් ලකුණු 48කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නැමීබියානු කණ්ඩායමට පාකිස්ථාන පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.
ඔවුන්ගේ සියලුම කඩුලු පන්දුවාර 17යි පන්දු 3ක් තුළ ලකුණු 97කට බිඳ වැටුණා.
පන්දු යැවීමේදී දක්ෂතාවල නිරත වූ ශදාබ් ඛාන් සහ උස්මාන් තාරික් කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන විට, ඔවුන් හමුවේ පරාජය වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම හෙට තරග වදිනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3.00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
හෙට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතුවල නිරත වුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු තුරුම්පුවක් වන මතීෂ පතිරණ පසුගිය දා ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ඔහු ක්‍රියාත්මක කල පළමු පන්දු ඕවරයේ දීම ආබාධයකට ලක්වුනා
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නා වන මතීෂ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉවත් වූ දෙවැනි ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුවක් වූ වනිඳු හසරංග ද දැනටමත් කලවා මාංශයේ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
මතිෂගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බල ඇණිය සවිමත් කිරීම සඳහා ඩිල්ෂාන් මදුශංක තෝරා ගෙන තිබෙනවා.

Share