තෛපොංගල් නිසා තාවකාලිකව නතර කර දැමූ නැගෙනහිර පළාත් වෛද්‍ය වර්ජනය යළි ඇරඹේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තෛපොංගල් හේතුවෙන් තාවකාලිකව නතර කළ නැගෙනහිර පළාත් වැඩ වර්ජනය අද පෙරවරුවේ සිට යළිත් ආරම්භ කර තිබෙනවා.
අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට එරෙහිව මෙම වර්ජනය පැවැත්වෙනවා.

නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ වුණේ පසුගිය සතියේයි.
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ වර්ජනය අද පෙරවරු 8ට යළි ආරම්භ කෙරුණා .
අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකිරීමත්, එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීම සඳහා අදාළ වෛද්‍ය අධිකාරිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමත් යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මකයි.
වැඩවර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු‍ම රෝහල්වල දෛනික සහ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වූයේ නැහැ.
නමුත් හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු‍ කටයුතු යොදා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ලබන 21 වැනිදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය පැවැත්වෙනු ඇති.
වර්ජනයට හේතු වී ඇත්තේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොකිරීමයි.

Share