කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු කැඳවාගෙන ගොස්, ඝාතනය කර ඔහුගේ ත්‍රිරෝද රථය සහ මුදල් කොල්ලකා පලාගිය සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේම පදිංචිව සිටි 16 හැවිරිදි බාලවයස්කරුවෙක්.
පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ඊයේ උදෑසන ලද ඇමතුමක් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා .
එහිදි අනාවරණය වි ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය 21 වැනිදා සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බවයි.
රාත්‍රි 9.30ට පමණ ත්‍රිරෝද රථ රියදුරුගේ නිවසට පැමිණ ඇති පුද්ගලයෙක් කුලී ගමනක් සඳහා ඔහු කැඳවාගෙන ගොස් ඇතැයි විමර්ශනයෙ දී අනාවරණ වී තිබෙනවා.
ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී රියදුරු ඝාතනය කර තිබූ බව පොලිසිය පැවසුවා.
ඔහුගේ ත්‍රි රෝද රථය පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් අසල තිබිය දී පොලිසියට හමුවුණා.
අනතුරුව පොලීසිය විසින් ඝාතනයට සැකපිට කුලී ගමන යෑමට පැමිණි පුද්ගලයා ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත්තා.
සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින අයෙකු අතර මුදල් සහ ත්‍රිරෝද රථය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය කළ බව පසුව පොලිසිය හමුවේ අනාවරණ කර තිබෙනවා.





