ත්‍රි’මලේ වියවුලට ඇපීල් උසාවියේ යෝජනාව

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද යෝජනා කළා.
මෙහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ, මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශවකරුවන් අනවශ්‍ය ගැටලු වලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව යි.

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ ‘අනවසර ඉදිකිරීමක්’ කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳගේ යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ ෂේන් ෆොස්ටර් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ගේ විහාරය පිහිටි භූමිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රදානයක් වශයෙන් ලබාදී තිබූ බවයි
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කරමින් සිය සේවා දායකයා වෙත ජූලි මස 18 වැනිදා ලිපියක් එවා තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා
ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යශයේ ලේකම්වරයා වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනය නිෂ්ප්‍රභ කෙරුණු බවත් නීතිඥ වරයා සඳහන් කළා.
නීතිඥවරයා පැවසුවේ පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ උන්වහන්සේගෙන් කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
වග උත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් ඇතැයි පැවසුවා.
එහෙත් එම අනුමත සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරල සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා
මෙහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා පෙන්වා දුන්නේ මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනය කර එහි යම් ගැටළුවක් තිබෙනවාදැයි සොයා බැලීම යෝග්‍ය බව මෙහිදී විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට යෝජනා කළා.
ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරික්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමටත් එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.
මෙම කටයුතු ඉටු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශවකරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ සේවා දායකයින්ට උපදෙස් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල නීතිඥවරුන්ට දැනුම් දුන්නා.
එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් මතුවුවහොත් ඒ තුළින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නා.
ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළා.

මේ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජිතයන් පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේ දීත් ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු ව තිබෙනවා.

Share