තවමත් බය ගෝඨාභය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට යාපනය අධිකරණයට පැමිණිය නොහැකි යම් ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාළ සාධක ලබන පෙබරවාරි 06 වැනිදාට දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ලබාදෙන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
ඉන් පසු ඒත්තු යන සුළු ජීවිත තර්ජන පිළිබඳ සාධක තිබේ නම් පමනක් ගෝඨාභය රාජපක්ෂ මහතා භෞතිකව අධිකරණයේ පෙනී සිටිය යුතු ද නැත් ද සම්බන්ධයෙන් වන නියෝගය එදිනට ලබාදෙන බවයි මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

යාපනය මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාධරයින් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධ නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බලමින්.
ලලිත් සහ කුගන් යන දේශපාලන ක්‍රියාධරයින් දෙදෙනා අතරුදහන් වී, අදට වසර 14ක් සම්පූර්ණ වන අතර, එම අතුරුදහන්වීම සිදුවන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇතත් 2019 වසරේ සිටම ඔහු අධිකරණයට නොපැමිණ, සාක්ෂි දීම මගහරිමින් සිටිනවා.
මේ අතර සති හතරක් ඇතුළත උසාවියට පැමිණ මේ නඩුවට අදාළව සාක්ෂි දෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට අධිකරණය පසුගිය ජුලි මාසයේදී නියෝග කළා.
එහෙත් කිසිවිටකත් අධිකරණයට නොපැමිණි හිටපු ජනාධිපතිවරයා, තමාට ජීවිත තර්ජන ඇති හෙයින් ලලිත් සහ කුගන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට සාක්ෂි ලබාදීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා, අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා.
එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු ආරක්ෂක තර්ජනයක් පිළිබදව සාධක ඉදිරිපත් නොකිරීම අභියෝගයට ලක්කරමින් එම ඉල්ලීමට විරෝධය පළකළා.
ඒ් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් ආරක්ෂක තර්ජනයක් ඇත්නම් ලබන පෙබරවාරි 06 වැනිදාට දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට එය ඉදිරිපත් කරන ලෙසයි යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

Share