දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙම වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ අධික වැසි සහිත කාලගුණය ලබන 29 වැනිදා දක්වා පවතිනු ඇති බවයි.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණු අන්දමන් දූපත් අසල සහ දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින අඩු පීඩන කළාප පීඩන අවපාතනයන් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අද උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24 වැඩි වර්ෂාපනය අම්පාර, ගල්ඔය ද්‍රෝණියෙන් වාර්තා වූ අතර ඒ මිලි මීටර් 115ක්.
අධික වැසි තත්ත්වය හමුවේ ජලාශ කිහිපයක් තවදුරයත් වාන් දමමින් තිබෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 3856ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙනවා.
අංගමුව ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු දෙකෙන් කලා ඔයට මුදා හැරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 524ක්.
දඹුලුඔය ඉබ්බන්කටුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 1000ක ජල ධාරිතාවක් කලා වැවට මුදා හැරෙනවා.
මේ අතර කලාවැවේ ජලධාරිතාව ද මේ වනවිට අක්කර අඩි 86,169ක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් හදිසි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාෂය භාර ඉංජිනේරුවන් පියවර ගත්තා.
ඉන් තත්ත්පරයට ඝන අඩි 1422ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙනවා.
ඉඟිනිමිටිය ජලාශයේද මේ වන විට වාන්දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 203ක ජල ධාරිතාවක් මුදාහැරෙනවා.
වැල්ලවාය, අලිකොට ආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කෙරුණු අතර එහි ජලය කිරිඳි ඔයට මුදාහැරෙනවා.
මේ අතර ගංගා පිටාර ගැලීමෙන් සහ ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.





