අද පස්වරුවේ සිට ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට, විශේෂයෙන් කොළඹට තද වැසි පවතිනු ඇති බවට බීබීසී වෙදර් පුරෝකථනය කරනවා.
එම අනාවැකිය අනුව දැනට බෙංගාල බොක්කට ඉහළින් පවතින කැළඹිලි ස්වභාවය ඉදිරියේ දී කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති අතර එය ශ්‍රී ලංකාව දෙසට ගමන් කරනු ඇති.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යහන 12ට සබරගමුව, දකුණ පළාත් සහ කොළඹ, කලුතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
නමුත් බීබීසී වෙදර් පුරෝකථනය කරන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර නැහැ. බීබීසී වෙදර් අද වාර්තාවට අනුව අද පස්වරුවේ සිට ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට සහ විශේෂයෙන් කොළඹට තද වැසි ඇති වනු ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් අද මධ්‍යහන 12ට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.
එහි දැක්වෙන්නේ සබරගමුව, දකුණ පළාත්වලත් කොළඹ සහ කලුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
මෙම නිවේදනය අද රාත්‍රි 11 දක්වා වලංගු වන පරිදි නිකුත් කර තිබෙනවා.
එමෙන්ම හෙට දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 2ට කාලගුණ අනාවැකියක් ඉදිරිපත් කළා.
එහි දැක්වෙන්නේ දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව අද පස්වරු දෙකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහෙත් BBC වෙදර් පුරෝකතනය කරන ආකාරයේ කොළඹට තද වැසි ඇතිවීමක් සම්බන්ධයෙන් හෝ කුණාටු තත්ත්වයක් සම්බන්ධයෙන් කිසිවක් එහි සදහන් නොවු අතර ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෝ එවැන්නක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ඉදිරිපත් වූයේ නැහැ.
කෙසේ වෙතත් අන් කවරදාවත් නොමැති පුදුම සහගත ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨසය ද කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.
නමුත් එහි කාලගුණ අනාවැකියේ සඳහන් කරුණුවලට අමතරව කිසිදු විශේෂ දෙයක් සඳහන් නොවූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කාලගුණ නිවේදන ඉදිරිපත් කරන්නේ ඇයිද යන්න අපිට නම් විමතියට කරුණක්.
පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් නිසි පෙර දැනුවත් කිරීම් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වුණා.
එම දිනවලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනවල සඳහන් වුණේ මිලි මීටර් 150ක තද වැසි ඇතිවිය හැකි බව පමණයි.
කෙසේ වෙතත් ඊට පෙර බීබීසී වෙදර් විසින් දිට්වා කුණාටු තත්ත්වයේ බලපෑම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණා.





