එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වීමට තම තනතුර බාධාවක් නම් ඔ්නෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේ දී ඊයේ ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්ව තිබෙනවා.
එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ගොඩනගන සන්ධානය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ තමන්ට කිසිදු වාර්තාවක් ලැබී නොමැති නමුත් කඩිනමින් මේ පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතු බවයි.
ලබන වසරේ සිට, රජයට එරෙහිව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා විපක්ෂ පක්ෂ එක්සත් විය යුතු බව පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා, පවතින සාකච්ඡා කඩිනම් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සඳහා එකඟතාවයකට පැමිණියහොත් සහ එක්සත් ජාතික පක්ෂ විධායක කමිටුව සජිත් ප්‍රේමදාස හෝ වෙනත් පුද්ගලයෙකු නායකත්වය භාර ගත යුතු බවට යෝජනා කළහොත්, තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇතැයි වාර්තා වනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීමේ අදහසට තමන්ම සහාය දෙන බවයි.
දීර්ඝ කාලයක් පක්ෂයේ නායකයාව සිටි සහ රටේ ජනාධිපතිවරයා ද වූ තමන්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම කිසිදු ආකාරයකින් ගැටලුවක් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.





