තනිව උදම් අනන ට්‍රම්ප්

ඉරානය සමඟ පවතින යුද්ධයෙන් තමන් ජයග්‍රහණය කළ බව නැවත වරක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිඛෙනවා.
මේ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් පාකිස්තානය මගින් භාර දී ඇති බව ද රොයිටර්ස් සහ ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළා.
ඉරානය පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා වන “තිරසාර” යෝජනාවලට සවන් දීමට සූදානම් බවයි.
මේ අතර මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දුර්ලභ සහ හදිසි විවාදයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණා.

ද නිව්යෝර්ක් ටයිම්ස්, රොයිටර් පුවත් ඒජන්සිය සහ ඊශ්‍රායලයේ චැනල් 12 වාර්තා කරන්නේ, එක්සත් ජනපදය විසින් ඉරානයට කරුණු 15 කින් යුත් සැලැස්මක් භාර දී ඇති බවයි.
මීට පෙර ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වූ පාකිස්තානය මගින් මෙම සැලස්ම ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
සාම සැලැස්ම ඉදිරිපත් කිරීම ඔවුන් වාර්තා කර තිබුණේ නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින්.
චැනල් 12 හි වාර්තාව අනුව එක්සත් ජනපදය විසින් කරනු ලැබූ ඉල්ලීම් අතර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින නිදහස් සමුද්‍ර කලාපයක් ඇති කිරීම වනවා.
එමෙන්ම සැලැස්ම පිළිගතහොත් සම්බාධක ඉවත් කිරීම ඇතුලු ඉරානයට හිමිවන කාරණ ද එහි විස්තර කර තිබෙනවා.

මේ අතර අමෙරිකා-ඉරාන යුද්ධය සමනය කිරීම සඳහා ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරීමට සිය රට සූදානම් බව අද පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද එම යෝජනාවට සිය එකඟතාව පළ කර ඇති බව වාර්තා වන්නේ.
මෙම සාම සැලසුමේ ප්‍රධාන කරුණු අතර ඉරානය සිය යුරේනියම් සපෝෂණය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරිම
හෝමූස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා යළි විවෘත කිරිම
කලාපීය සන්නද්ධ කණ්ඩායම්වලට ලබා දෙන සහය අත්හිටුවිම
අනුවර්තනයක් ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම

සිවිල් න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති සඳහා සහය වීම ද ඇතුලත්.මේ අතර ඉරානය සමඟ යුද්ධය අවසන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
එහිදී දෙරට අතර සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් පල කළා
ඉරානයෙන් තමන්ට ලැබුණු වටිනා ත්‍යාගයක් සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙහිදී කළ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් ව තිබෙනවා.

මේ අතර සාකච්ඡා පිළිබඳ වොෂින්ටනයෙන් නිකුත් වන ප්‍රකාශයන් ඉරාන හමුදා ප්‍රකාශකයෙකු වන ලුතිනන් කර්නල් ඊබ්‍රාහිම් සොල්ෆගාරි දැඩි ලෙස උපහාසයට ලක් කළා.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු විමසා සිටියේ ට්‍රම්ප් පාලනය මේ වන විට “තමන් සමඟම සාකච්ඡා පවත්වන” මට්ටමකට ඇද වැටී ඇත්ද යන්නයි.
අමෙරිකානු රජය විසින් පකිස්ථානය හරහා කරුණු 15කින් යුත් සටන් විරාම යෝජනාවලියක් ඉරානය වෙත යොමු කර ඇති බවට පලවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සොල්ෆගාරි පැවසුවේ අමෙරිකාව අත්විඳින පරාජය “එකඟතාවක්” ලෙස ලෝකයට පෙන්වීමට උත්සාහ කරන බවයි.

– ලෝක සුපිරි බලවතා යැයි කියා ගන්නා ඔබ මේ වන විට සිටින්නේ දැඩි අර්බුදයකයි. ඔබ පවසන සාකච්ඡා පිළිබඳ පුවත් හුදෙක් ඔබ විසින්ම මවාගත් ඒවා මිස අප සමඟ කරන සාකච්ඡා නොවේ. අපේ පළමු සහ අවසාන වචනය වන්නේ ඔබ වැනි අයෙකු සමඟ කිසිදා එකඟතාවකට නොපැමිණෙන බවයි.”

වර්ධනය වන මෙම තත්ත්වය තුළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.
එහිදී මැද පෙරදිග තත්ත්වය, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ වැදගත්කම ඇතුළු කාරණා සාකච්ඡා කළ බව ඉන්දියාවේ ඇමරිකානු නියෝජිත සර්ජියෝ ගෝර් සහ මෝදි X හි සටහන් කර තිබුණා.

පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර දියත් කිරීමෙන් පසු නායකයින් දෙදෙනා අතර පළමු ඇමතුම මෙයයි.

මේ අතර මැදපෙරදිග ගැටුම අවසන් කිරීම සඳහා ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර මැදිහත්කරුවෙක්වීමට පකිස්තානය ඉදිරිපත් වී ඇති පසුබිමක, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබෙනවා.
සාජා සිට කරච්චි බලා යාත්‍රා කළ අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.
මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවකට ගමන් කිරීමට නම් ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමග පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍ය බැවින් ඉරාන ප්‍රධානීන්ගේ අවසරයක් නොමැති කිසිදු යාත්‍රාවකට හෝමූස් පසුකර යා නොහැකි බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනය කළා.

‘සතුරු නොවන’ යාත්‍රාවලට ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කර සිය ජල තීරණය භාවිතාකළ හැකි වුවත් සතුරන් සමග සබඳතා පවත්වන යාත්‍රාවලට ජල තීරය තරණය කිරීම තහනම්” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඉරානයේ ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගොඩබිම් හමුදා භට පිරිස් යෙදවීමට ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටා ඇති දූපත්, ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන පර්යන්තය පිහිටි කාර්ග් දුපත මෙන්ම ඉරාන න්‍යෂ්ටික පහසුකම් හෝ වෙනත් ඉහළ වටිනාකමක් ඇති ස්ථාන මෙම මෙහෙයුමේ දී ඇමෙරිකාවේ ඉලක්ක වනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
ඇමෙරිකාව මෙම මෙහෙයුම් සඳහා සිය විශේෂ හමුදා ඒකක කිහිපයක් ඇතුළුව 4500 කට ආසන්න අමතර භට පිරිසක් මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමට දැනටමත් කටයුතු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ පිරිස අතර පැරෂුට් භටයින් 1,000ක කණ්ඩායක් ද වනවා.

මේ අතර යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ පිහිටි ස්ථාන 82,000කට අධික සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායලය තහවුරු කරනවා.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අදට දින 26ක්.

මේ අතර යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා පිළිබඳ වාර්තා පළ වුවද, ඊශ්‍රායලය හා ඉරානය එකිනෙකාට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරගනිමින් සිටිනවා.

ඉරානයේ බුෂේහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය නැවත වරක් ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ ප්‍රධාන ව්‍යුහයට හෝ එහි ක්‍රියාකාරීත්වයට බරපතල හානි සිදුව ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

බලාගාරය අවට ප්‍රදේශයේ විකිරණ මට්ටම්වල අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය වී නැතැයි ද පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

මේ අතර සෞදි අරාබිය ඩ්‍රෝන යානා 11ක් බිම දැමූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය මාර්තු 02 වැනිදා සිට ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රබල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,072 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “දුර්ලභ සහ හදිසි” විවාදයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද පැවැත් වෙනවා.
බහරේනය සහ ගල්ෆ් කලාපීය රටවල් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම හදිසි සැසිය කැඳවා ඇත්තේ, ඉරානය විසින් සිවිල් ගොඩනැගිලි සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින්.

Share