තංගල්ල උණාකූරුව වැව අසළදී ඊයේ රාත්‍රී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන උණාකූරුවේ ශාන්තගේ ඥාතීන් බවයි. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේ වැව ඉදිරිපිට වෙළද සැලක් පවත්වා ගෙන ගිය යුවළක් ඉලක්ක කරගෙන ඊයේ පස්වරු 6.40 පමණ වෙඩි තබා තිබුණේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක්. වෙඩි ප්‍රහාරයට ලක් වූ අඹු සැමි යුවළ රෝහල්ගත කරන විටත් මියගොස් තිබුණා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, උණාකූරුව කපුහේන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 68 හැවිරිදි ජුවානා හැන්නදිගේ විජිතදාස සහ වයස අවුරුදු 58 හැවිරිදි පසික්කු හැන්නදිගේ පුෂ්පා යන අඹුසැමි යුවලයි.
ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන උණාකූරුවේ ශාන්තගේ මවගේ බාල සොහොයුරා සහ ඔහුගේ විවාහක බිරිද බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය වූ ස්ථානයට පැමිණි මහෙස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ පැවැත්වූවා.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එහි දී වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.





