මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා යොමු කර තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව පදනම් කර ගනිමින් මෙම නියෝගය ලබා දුන්නා.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
විත්තිකාර ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවත් ඒ අනුව ඇය නිදහස් කරන ලෙසත් ඇයගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.
ඒ අනුව විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.
නඩුව අද කැඳවූ අවස්ථාවේ අදාළ වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාවෙන් වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙම වෛද්‍ය මණ්ඩලය විසින් දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙත ඉදිරිපත් කළ සෑම ප්‍රශ්නයකටම අයි ඩෝන්ඩ් නෝ (I don’t know) අයි කාන්ට් රිමෙම්බර් (I can’t remember) ලෙස පිළිතුරු ලබා දුන් බව සඳහන් කර ඇති බවයි.
ඒ අනුව දෙවන විත්තිකාරියට නඩු විභාගයකට සහභාගී වෙමින් විත්ති වාචිකයක් ඉදිරිපත් කිරීමට, නීතී උපදෙස් ලබා දීමට, වැරදිකාරභාවය හෝ නිවැරදිකාරභාවය පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇයට අධිකරණ ක්‍රියාපටිපාටිය අනුගමනය කළ නොහැකි බවත් විශේශඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙන බවද පැවසුවා.
ඒ අනුව දෙවන විත්තිකාරිය නිදහස් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ අධි චෝදනාවලින් ඩේසි ෆොරස්ට් නිදහස් කරන ලෙසයි.
ඒ අනුව නඩුවේ පළමු විත්තිකරු වූ යෝෂිත රාජපක්ෂට පමණක් සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව නඩුව පවරා පවත්වාගෙන යෑමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.





