හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන 23 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා.එන්. සිල්වා අද නියෝග කළා.
ඒ සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද ලක්ෂ 20 බැගින් ශරීර ඇප 2ක් මත මුදා හැරුණා.
සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාව සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කර රජයට මූල්‍ය පාඩු සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද වත්තල මහේස්ත්‍රාත් කාංචනා.එන්. සිල්වා හමුවට ඉදිරිපත් කෙරුනා.
එහිදී කරනු විමසූ වත්තල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතු ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 5 වැනිදායි
ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලයට අයත් ලොරියක් අමාත්‍යවරයාට අයත් එතනෝල් නිෂ්පාදන ආයතනයක ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාවකට අදාළවයි.
මෙම විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගත් අතර, අදාළ ලොරි රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් එතනෝල් සමාගමක රාජකාරියේ යෙදවීමට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල අත්අඩංගුවට ගැණුනේ පසුගිය 4 වැනිදායි.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබුනා.
එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බව ද පොලීසිය හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණේ මෙවන් පසුබිමකයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු පසුගිය 5 වැනිදා පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ භාර වුනා.
ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඔවුන් නැවතත් අද අධිකරණය හමුවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන අනතුරුවයි ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
මේ අතර, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා.
ඒ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවයි.
එමෙන්ම විත්තිකරුවන් තිදෙනාට ම විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනි අවියක් 2019 වසරේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක දී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාලවයි හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.
අදාළ නඩුව ලබන මාර්තු මස 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි





