ටීවී සුප්‍රීම් නිවුස් අනාවරණ කළ වනාතවිල්ලුව කඩොලාන සංහාරයේ සැකකරුවෙකු අල්ලයි

මෙරට අති සංවේදී පරිසර කලාපයක් ලෙස සැලකෙන වනාතවිල්ලුව මහා කඩොලාන වනාන්තරයේ සිදුකෙරෙන සංහාරය සම්බන්ධයෙන් ටීවී සුප්‍රීම් නිවුස් අනාවරණය ඵල දරා තිබෙනවා.
ඒ අනුව පුත්තලම සහ වනාතවිල්ලුව වන සංරක්ෂණ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවෙක් අත්අඩංගුව ගනු ලැබුවා.
වැටලීමේ දී සැකකරුවන් 7 දෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යනු වර්ගකිලෝමිටර් 500කට අධික වන වැස්මක් සහ විවිධ වනාන්තර පද්ධතින්ට අයත් ශාක සංවේදී පරිසර කලාපයක්.
විල්පත්තුවටත්, මනරම් කලපු තීරයකට මෙන්ම ගංගා ආශ්‍රිත ජලජ පද්ධතිවලටත් මායිම්ව පිහිටා ඇති මෙම සංවේදී පරිසර කලාපය මේ වන විට අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇති ආකාරය ඊයේ අප ටීවී සුප්‍රිම් ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා.
බැලූ බැල්මට පිටතට නොපෙනෙන ලෙස කඩොලාන වනාන්තරය ඇතුළත පිහිටි ප්‍රදේශයේ කර ඇති මහා විනාශයක තරම ගුවනින් ගත් දර්ශනවලින් ඉතා පැහැදිලිව දක්නට ලැබුණා.
අප කළ සොයා බැලීමේ දී අනාවරණ වුණේ ඉස්සන් වගා කිරීමට සහ ලුණු ලේවා ඉදිකිරීම සදහා මෙලෙස සංවිධානාත්මක පිරිස් මෙම වන සංහාරය සිදුකරන බවයි.
මෙම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම සහ වනාතවිල්ලුව කාර්යාල දෙකේ නිලධාරීන් කටයුතු කර තිබුණා.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති අතර වන සංරක්ෂණ නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද කර තිබෙනවා.
එහිදී පලා ගිය සැකකරුවෙක් සිය ග්‍රහණයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා.
තවත් 7 දෙනෙක් පලා ගොස් ඇතැයි වනසංරක්ෂණ නිලධාරීන් සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුව අද ඉදිරිපත් කිරීමට නියමිතයි.


Share