ට්‍රම්ප්ගේ සාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

සති හතරකට ආසන්න කාලයක් පවතින සටන් අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානයට දැඩිව අවශ්‍ය වී ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සඳහන් කරන්නේ තම රට එක්සත් ජනපද යෝජනාවක් සමාලෝචනය කරමින් සිටින නමුත් ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.
එක්සත් ජනපදය සමඟ කිසිදු සංවාදයක් හෝ සාකච්ඡාවක් නොතිබුණද, අතරමැදියන් හරහා විවිධ පණිවිඩ හුවමාරු වී ඇති බව අරක්චි සඳහන් කළා.
එක්සත් ජනපදයේ යෝජනා මාලාව ප්‍රතික්ෂේප කළහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ධවල මන්දිරය අනතුරු ඇඟවූවා.

ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් පාකිස්තානය හරහා කරුණු 15 කින් යුත් යෝජනාවක් ඉරානයට යවනු ලැබුවා.
ඉරානයේ සුපෝෂණය කළ යුරේනියම් තොග ඉවත් කිරීම, යළි සුපෝෂණය නැවැත්වීම, එහි බැලස්ටික් මිසයිල වැඩසටහන අතහැර දැමීම සහ කලාපීය සටන්කාමී සංවිධාන සඳහා අරමුදල් කපා හැරීම වැනි යෝජනා ඊට අන්තර්ගත බව සඳහන් වුණා.
ධවල මන්දිරය තම යෝජනාවේ කරුණු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ අතර සාකච්ඡා ප්‍රතික්ෂේප කරන්නේ නම් දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට තර්ජනය කළා.
වර්තමාන මොහොතේ පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, එනම් තමන් හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, එය දිගින් දිගටම සිදුවන බවත්, ඔවුන් තේරුම් නොගන්නේ නම්, මීට පෙර කිසිදා නොවූ විරූ ප්‍රබල ප්‍රහාරයකට ඔවුන් ලක්වන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කරනු ඇත.

කෙසේ වෙතත් ඉරාන රජයේ රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පැවසුවේ මීට පෙර කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉල්ලා සිටි ඇමරිකා එක්සත් ජනපදය දැන් සාම සාකච්ඡා සඳහා ඇරයුම් කිරීම ඔවුන් ලැබූ පරාජයක් බවයි.

“අපගේ මිත්‍ර රටවල් හරහා පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම සහ අපගේ ස්ථාවරයන් ප්‍රකාශ කිරීමෙන් හෝ අවශ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් අප ප්‍රතිචාර දැක්වීම සාකච්ඡා හෝ සංවාදය ලෙස හැඳින්වෙන්නේ නැහැ. එය හුදෙක් අපගේ මිතුරන් හරහා පණිවිඩ හුවමාරුවක් පමණි.”
එවන් පසුබිමක බදාදා වොෂින්ටනයේ පැවති උත්සවයකදී ට්‍රම්ප් යළි සඳහන් කළේ ඉරාන නායකයින් සමග සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඉරාන නායකයින් “සාකච්ඡා කරමින් සිටින අතර, ඔවුන්ට ගිවිසුමක් ඇති කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක සිටිනවා. නමුත් ඔවුන් තමන්ගේම ජනතාව විසින් මරා දමනු ඇති නිසා ඔවුන් එය පැවසීමට බිය වී සිටිනවා. ඒ වගේම අප විසින් ඔවුන් මරා දමනු ඇතැයි ද ඔවුන් බියෙන් පසුවෙනවා.”

මේ අතර ඇමෙරිකාවේ කොන්දේසි ප්‍රතික්ෂේප කරන ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා කොන්දේසි පහක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ පිළිබඳ දැනුම් දෙමින් ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ආරක්ෂක නිලධාරියෙකු එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ, යුද්ධය අවසන් වන ආකාරය සහ ඒ සඳහා වන කාලරාමුව තීරණය කරනු ලබන්නේ ඉරානයේ අභිමතය පරිදි මිස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයන් මත නොවන බවයි.
පළමු කොන්දේසිය වන්නේ සතුරා විසින් සිදු කරනු ලබන “ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන” සම්පූර්ණයෙන්ම නතර කිරීමයි.
ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් ඇති නොකරන බව සහතික කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
යුද්ධයෙන් සිදු වූ හානි සඳහා සහතික කරන ලද සහ පැහැදිලිව නිර්වචනය කරන ලද වන්දි ගෙවීම
කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයට ඇති ස්වෛරී අයිතිය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතිකය ලබා දීම ‍ ඉරානය ඉදිරිපත් කර ඇති සෙසු කොන්දේසි වනවා.

මේ අතර බ්‍රහස්පතින්දා අලුයම, ඉරානය පුරා ප්‍රදේශ කිහිපයක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයේ ප්‍රහාර රැල්ලක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පැවසුවා.

එම ප්‍රහාරය එල්ල කර තිබුණේ බදාදා ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්.

මේ අතර ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරනවා.
ඉරාන හමුදාව නෞකාව ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඊයේ සඳහන් කර තිබුණා.
මැදපෙරදිග එක්සත් ජනපද හමුදාවන්ට නායකත්වය දෙන මධ්‍යම අණදෙන විධානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසුවේ එක්සත් ජනපදය ඉරානය තුළ ඉලක්ක 10,000 කට වඩා පහර දී ඇති බවයි.
කූපර් පැවසුවේ ඉරානයේ විශාලතම නාවික යාත්‍රාවලින් 92% ක් විනාශ වී ඇති බවත්, එහි ඩ්‍රෝන් සහ මිසයිල දියත් කිරීමේ හැකියාව 90% කට වඩා අඩු වී ඇති බවයි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ මිසයිල, ඩ්‍රෝන් සහ නාවික නිෂ්පාදන පහසුකම් සහ නැව් තටාකවලින් තුනෙන් දෙකකට හානි කර හෝ විනාශ කර ඇති බව කූපර් සඳහන් කළා.

මෙම සියලු වර්ධනයන් මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවූයේ ගැටුම පාලයෙන් තොරවී ඇති බවයි.
ලෝකය මහා පරිමාණ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇතැයි නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් මහලේකම්වරයා සඳහන් කළා.
සති තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, යුද්ධය පාලනයෙන් තොරය. ගැටුම නායකයින් පවා සිතාගත නොහැකි තරම් සීමාවන් ඉක්මවා ගොස් ඇත. ලෝකය මහා පරිමාණ යුද්ධයක අවදානමකට ඉතා ආසන්න වී තිබේ. මෙය ඕනෑවට වඩා දුර ගොස් ඇත. දැන් කළ යුත්තේ ගැටුම් උත්සන්න කිරීම නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයකට පැමිණ ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන්ම එකඟවීමයි.

Share