ට්‍රම්ප්ගේ තීරණයට බාලගිරි දෝෂය

ඉරානය සමඟ සාම ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා හොඳින් සිදුවන බැවින්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර අප්‍රේල් 6 වනදා දක්වා දින 10කින් තවදුරටත් ප්‍රමාද කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Fox News නාලිකාව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය විසින් දින හතක සහන කාලයක් ඉල්ලා සිටියද, තමන් ඔවුන්ට දින දහයක කාලයක් ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් මෙවැනි සාකච්ඡා පවත්වන බවට එල්ල වන වාර්තා ඉරාන පාර්ශවය විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවත් දින දහයකින්, එනම් අප්‍රේල් මස 6 වැනිදා දක්වා කල් දැමීමට පියවර ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය සමඟ පවත්වන සාකච්ඡා මේ වන විට සාර්ථක මට්ටමක පවතින බවත්, මෙම තීරණය පිළිබඳව ටෙහෙරානය බෙහෙවින් කෘතඥ වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මීට පෙර ප්‍රහාරක විරාමය දින පහේ සිට සති දෙකක් දක්වා දීර්ඝ කරන බව ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ද නිවේදනය කර තිබුණා.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමන් කිරීමට ඉරානය අවසර ලබා දීම තමන්ට ලැබුණු විශේෂ “තෑග්ගක්” ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා, එම සාධනීය පියවර සැලකිල්ලට ගනිමින් මෙම සහන කාලය ලබා දුන් බව අවධාරණය කළා.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් මෙවැනි සාකච්ඡා පවත්වන බවට එල්ල වන වාර්තා ඉරාන පාර්ශවය විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නැහැ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තීරණයත් සමඟ ආසියානු වෙළෙඳපොළේ අද පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වනවා.
එසේම, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර, අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට අධික ආදායමක් උපයන බව සඳහන්.
ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් තිබෙනවා.
මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් අප්‍රේල් 11 වනදා තෙක් මිලදී ගැනීමට ගෝලීය වෙළෙඳපොලට අවස්ථාව හිමි වී තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද නිව්යෝර්ක් වේලාවෙන් පෙ.ව. 10ට ඉරානය පිළිබඳ විවෘත සාකච්ඡාවක් සැලසුම් කර තිබෙනවා.
ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, රුසියාව ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන ලද ඇමරිකා-ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳ රැස්වීමක් ඉල්ලා සිටි බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙකු පවසා තිබෙනවා.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ ආසියාන් නායකත්ව සමුළුව ඉරාන යුද්ධයේ කලාපීය බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් සඳහන් කලේ, මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ නායකත්ව සමුළුව සැලසුම් කළ පරිදි පැවැත්වෙන නමුත් ඉරාන යුද්ධයේ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරමින් එය කෙටිකර අත්‍යවශ්‍යම සාකච්චා පමණක් පවත්වන බවයි.
පිලිපීනයේ අන්තර්ජාල විමසීම් ප්‍රවෘත්ති වෙබ් අඩවියට අනුව, ඉන්ධන සැපයුම්, ආහාර මිල ගණන් සහ සංක්‍රමණික සේවකයින් වැනි කරුණු කෙරෙහි මෙම සමුළුවේදී අවධානය යොමු කරනු ඇති.

මැද පෙරදිග යුද්ධයට අද වන විට සති 4ක් ගත වී ඇති නමුත්, තවමත් මැදපෙරදිගින් ප්‍රහාර වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයේ, බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට අද අලුයමත් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන එම ප්‍රදේශය තුළ පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව සඳහන්.
ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රදේශයෙන් දුමාරය ඉහළට නැඟෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර, ඉරානයේ කොම් නගරයේ නේවාසික නිවාස තුනක් ඉලක්ක කරමින් එල්ල කළ ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි කොම්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, අවසන් පැය කිහිපය තුළ කුවේට්හි හදිසි අනතුරු ඇඟවීම් ‘සයිරන්’ ශබ්ද වී ඇති අතර, එමෙන්ම පිපිරීම් ශබ්දද ඇසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
කුවේට් ජාතික ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේදී ප්‍රහාරයක් ලෙස පැමිණි ඩ්‍රෝන දෙකක් සාර්ථකව විනාශ කළ බවයි.

Share