අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලසුමට අනුව කමිටු තුනකින් සමන්විත සාම මණ්ඩලය පසුගියදා නිවේදනය කළා.
ට්‍රම්ප්ගේ සභාපතිත්වයෙන් යුතුව නම් කර ඇති ගාසා සාම මණ්ඩලය කමිටු තුනකින් සමන්විත වන බවත්, එහි ඉහළම කමිටු ලෙස නම් කර ඇති විධායක කමිටුවට සහ ගාසා කමිටුවට අමෙරිකානු සහ ඊශ්‍රායල නියෝජිතයන් සහ එම රටවල හිතවාදීන් නම් කර ඇති අතර, පලස්තීන පාලනාධිකාරියේ නියෝජිතයන් පත් කර ඇත්තේ පාලන කමිටුවට පමණක් බව ද වාර්තා වනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ ගාසා සාම මණ්ඩලයට එක්වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ආරාධනය කර ඇති බව සඳහන්.
ඉන්දියාවට මෙම ආරාධනය ලැබෙන්නේ, ඉන්දියාව විසින් එක්සත් ජනපදයට කරන අපනයන සඳහා තීරුබදු අඩු කරන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නවදිල්ලිය සහ වොෂින්ටනය අතර සබඳතා දැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවකයි.
මීට අමතරව සාම මණ්ඩලයට එක්වන ලෙස බ්‍රිතාන්‍යය, ජෝර්දානය, ග්‍රීසිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඊජිප්තුව, පාකිස්තානය තුර්කිය සහ මැදපෙරදිග ඇතුළු තවත් රටවල් රැසක රාජ්‍ය නායකයන් කිහිපදෙනකුටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරියුම් කර ඇති අතර, එම කමිටුවේ නිත්‍ය සාමාජිකත්වය ලැබීමට නම් අමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කළ යුතුව ඇතැයි ද ප්‍රකාශ කර තිබෙනවා.





