මදුරෝ පැහැර ගත් ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන නිව්යෝක් වෙත රැගෙන ඒ්මෙන් පසු, වෙනිසියුලාවේ නව පාලකයින් නිසි පරිදි හැසිරෙන්නේ නැත්නම් වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් ද එල්ල කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙනිසියුලාවේ නව නායිකා ඩෙල්සි රොඩ්‍රිගස්ට අනතුරු අඟවන්නේ ඇය “හරි දේ නොකළහොත්” ඇයට මධුරෝට වඩා විශාල මිලක් ගෙවීමට සිදුවිය හැකි බවටයි.
ඒ සමගම කෙළොම්බියාව, කියුබාව, මෙක්සිකෝව ඇතුළු තවත් රටවල් කිහිපයකටම ට්‍රම්ප් අනතුරු ඇඟවූවා.

වෙනිසියුලා ජනාධිපති මධුරෝ පැහැරගැනීමේ මෙහෙයුම් උත්කර්ෂයට නංවමින් එයා ෆෝස් වන් යානයේ සිට මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලා මෙහෙයුමෙන් පසු එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ද බියට පත්ව සිටින බවයි.
එමෙන්ම ඔහු කොලොම්බියාවට ද එහිදී අනතුරු ඇඟවූවා.

මේ අතර එක්සත් ජනප ද ජනාධිපතිවරයාගේ අනතුරු ඇඟවුම්වලට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසන්නේ, තමා එක්සත් ජනපදය සමඟ සහයෝගී සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බවයි
ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් රොඩ්‍රිගස් ආයාචනා කළේ කළේ දෙරට අතර ගැටලුව ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ සංවාදයක් මගින් විසඳා ගැනීමට පැමිණෙන ලෙසයි
යෝජිත සාකච්ඡා සමානාත්මතාවයේ සහ සහයෝගීතාවයේ න්‍යාය පත්‍රයක් මත සිදුවිය යුතු බවත්, වෙනිසියුලාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස තමා එක්සත් ජනපද රජයට ආරාධනා කරන බවත් වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කළා.
ඒ් සමගම එක්සත් ජනපදය විසින් පැහැරගනු ලැබූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අද එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද හමුදා මෙහෙයුමට විරෝධය පළ කරමින් එක්සත් ජනපද වැසියන් ද විරෝධතා දක්වමින් සිටිනවා.
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ රඳවාගෙන සිටින බෘක්ලින් බන්ධනාගාරය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් මධුරෝ වෙනිසියුලාවේ ජනතාවගේ ජනාධිපති බවත් ඔහු පැහැර ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංගණය කිරීමක් බවටත් චෝදනා කළා.
ස්පාඤ්ඤය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, පැනමාව ඉන්දියාව පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක පුරවැසියන් ද එක්සත් ජනපදය වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කරමින් එහි නීත්‍යානුකූල රාජ්‍ය නායකය පැහැර ගැනීමට එරෙහිව විරෝධතා දක්වා තිබුණා.

Share