ඉරාන රජයට ආර්ථික පීඩනය තීව්ර කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් ලෙස, එරට සමඟ ව්‍යාපාර කටයුතු කරන රටවල් සඳහා 25% ක තීරු බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
මෙය ප්‍රධාන වශයෙන් ඉරානය ඉලක්ක කරගත් වුවද, එහි ප්‍රතිවිපාක මැද පෙරදිගින් ඔබ්බට විහිදෙන අතර ටෙහෙරානය සමඟ විශේෂයෙන් තේ අපනයන හරහා වැදගත් වෙළඳ සබඳතා පවත්වාගෙන යන ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට සැලකිය යුතු ලෙස බලපෑ හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.
ඉරානය තුල පසුගිය වසර කිහිපය පුරා පැවති ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලනික හා සමාජ අර්බුදයක් බවට පත් වෙමින් පවතිනවා.
වැඩිවන උද්ධමනයට එරෙහිව ටෙහෙරාන් අගනුවරින් ආරම්භ වූ විරෝධාතා මේ වන විට රට පුරා නගර 180කට වඩා පැතිරී ඇත්තේ සති දෙකකට වැඩිකාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින්.
වසර තුනක පමණ කාලයක් තුළ එරට දැවැන්තම මහජන නැගිටීම මෙයයි.
මේ තත්ත්වය තුළ ඉරාන මුදල් ඒකකය වන බරපතළ ලෙස අවප්‍රමාණය වී ඇති අතර අද වන විට එක්සත් ජනපද ඩොලරයක අගය රියල් මිලියන 1.4ක් ද ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අපට මෙම අර්බුදය ප්‍රධාන ලෙස බලපානු ලබන්නේ , අපගේ ප්‍රධාන කෘෂි කාර්මික අපනයන බෝගය වන තේ සඳහා ප්‍රධානම ගැනුම්කරුවෙක් වන්නේ ඉරානය වීම හේතුවෙන්.
පළමු ප්‍රතිචාරය වනු ඇත්තේ ඉරානය පවතින අර්බුදකාරී තත්ත්වය තුළ තේ ආනයනය සීමා කළ හැකි වීමයි.
ඊශ්‍රයල ඉරාන යුධ තත්වයේදී ත් තේ මිල දී ගැනීම දැඩි ලෙස පහත වැටුණා.
ශ්‍රී ලංකාව ඉරානයට කරන තේ අපනයන සැලකිය යුතු මට්ටමක පවතින අතර, ප්‍රධාන වශයෙන් තෙල් ණය පියවීම සඳහා වූ හුවමාරු ගිවිසුමක් යටතේ මෙම ගනුදෙනුව සිදුවනවා.
2023 සංඛ්‍යාලේඛන අනුව තේ අපනයනය ඩොලර් මිලියන 37.6 ක් වූ අතර එය 2024 දී ඩොලර් මිලියන 67.81 ක් දක්වා ඉහළ ගියා.
ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය වේගවත් වීමත් සමඟ, 2025 මුල් භාගය වන විට පරිමාව කිලෝග්‍රෑම් මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.
පවතින තත්ත්වය තුළ ඉරානයේ ඉල්ලුම අඩුවීමෙන් කොළඹ තේ වෙන්දේසියේ දී තේ මිල පහළ යෑමක් ද අපේක්ෂා කළ හැකියි.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ගෝලීය මිල උච්චාවචනය වීම වැනි අභියෝගවලට දැනටමත් මුහුණ දී සිටින කුඩා තේ වතු හිමියන්ට තවදුරටත් ආදායම් අස්ථාවරත්වයක් අත්විඳිය හැකි බව අපගේ නිගමනය වනවා.
අපනයන ආදායම පහත වැටීම ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සහ මුදල් ස්ථාවරත්වය මත පීඩනයක් ඇති කිරීමට ද හැකියාවක් පවතිනවා.
මෙයට පිළියමක් ලෙස තරඟකාරීව සිටීමට ශ්‍රී ලංකාවට ආසියාවේ, අප්‍රිකාවේ සහ නැගෙනහිර යුරෝපයේ විකල්ප වෙළඳපොලවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සිදුවනවා.
ඒ අනුව, අගය එකතු කළ තේ නිෂ්පාදනවල ආයෝජනය කිරීමට සහ ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීමේ බලපෑම අවම කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ උපායමාර්ගික වෙළඳ සැලසුම් අත්‍යවශ්‍ය වනු ඇති.
ඒ අනුව මැදපෙරදිග ඇතිවෙමින් පවතින මෙම අර්බුදකාරී තත්වය අපිට නැවත නැවත මතක් කර සිටින්නේ අපගේ තේ වෙළදාම තවදුරටත් විවිධංගීකරණයට ලක් විය යුතු බව සහ අලුත් වෙළදපොළ කරා ව්‍යාප්ත කළ යුතු බවයි.
එමෙන්ම ට්‍රම්ප් නියම කළ නව තීරුබදු හේතුවෙන් ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වන සමස්ත බලපෑම ද කිසිසේත් සුලු කොට තැකිය නොහැකි වනු ඇති.
ඊට හේතුව දැනටමත් කලාපයේ ඉහළ තීරු බද්දකට මුහුණ දෙන රටවල් අතර ශ්‍රි ලංකාව ද සිටින බැවිනුයි.





