ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ මෙරටට සැපයෙන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකරන ඒකාබද්ධ සමාලෝචනයේ පස්වන සහ හයවන වට සම්පූර්ණ කිරීමේ අරමුණින් වන සාකච්ඡා වෙනුවෙන්.
මෙම පිරිස අප්‍රේල් 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව තහවුරු කලේ පසුගිය 19වැනිදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීයි.

මෙම සංචාරය අතරතුර, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි
මෙම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් සිදු කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහයෝගය කුමක්ද යන්න තීරණය කරන බවත් ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා
පස්වන සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව 2025 ඔක්තෝබර් 9 වන දින එළඹුණු අතර, එම සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික බලපෑම සහ ගෝලීය ඉල්ලුම වෙනස් වීම හේතුවෙන් පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සිදු කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, මෙම සංචාරය හරහා හයවන වාරිකයට අදාළ සමාලෝචන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අපේක්ෂිත බවත් වාර්තා වනවා.

Share