ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස්ඊයේ බෙයිජිංහිදී චීන ජනාධිපති ෂී ජින් පිං හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස්ඊයේ පස්වරුවේ බෙයිජිංහිදී චීන ජනාධිපති ෂී ජින් පිං හමුවුණා.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සහ ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය අතර සබඳතා දෙරටෙහි යහපතට පමණක් නොව යුරෝපයට හා ලෝකයට ද එක සේ වැදගත් බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එබැවින් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ ෂී ජින් පිං මහතා ඊට ශක්තිමත් පදනමක් ලබා දිය හැකි යෝජනා තුනක් එහිදී ඉදිරිපත් කර තිබෙනවා.

චීනය හා ජර්මනිය අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් යුත් විශ්වසනීය හවුල්කරුවන් මෙන්ම අන්‍යෝන්‍ය විවෘතභාවය හා ප්‍රතිලාභ මත පදනම් වන නවෝත්පාදන හවුල්කරුවන් විය යුතු බව ඉන් එක් යෝජනාවකි.

එසේම, ජාත්‍යන්තර කටයුතුවලදී බහුපාර්ශ්වවාදයේ ආරක්ෂාව, ජාත්‍යන්තර නීතියේ පාලනය, නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සහ සමගිය හා සහයෝගීතාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ස්ථානයට අනුබල දීම ද, ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ අදාළ යෝජනාවන් අතර වනවා.

මෙහිදී අදහස් දක්වමින් ජර්මන් චාන්සලර්වරයා කියා සිටියේ, චීනය සමග සබඳතා ඉතා වැදගත් කොට සලකන ජර්මනිය, චීනය සමග එක්ව මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික උපාය මාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැමැත්තෙන් පසු වන බවයි.

එමෙන්ම ජාත්‍යන්තර තත්ත්වය බැරෑරුම් වෙනසකට භාජනය වෙමින් පවතින වත්මන් කාලය තුළ ජර්මනිය මෙන්ම චීනය ‍ද ගෝලීය අභියෝගවලට මුහුණදීමේ පොදු වගකීමක් දරමින් සිටින බවත්, නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සහ ආරක්ෂණවාදය පිටුදැකීම වෙනුවෙන්  චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජර්මන් චාන්සලර්වරයා මෙහිදී පවසා තිබෙනවා.

Share