ජනාධිපති දිසානායක සමඟ සාකච්ඡාවෙන් පසු ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට පාකිස්ථානය සැරසෙයි.

2026 T20 ලෝක කුසලාන කණ්ඩායම් අදියරේ දී ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකිරීමේ තීරණය පාකිස්තානය ආපසු හරවා තිබෙනවා.

පාකිස්තාන රජය ඊයේ රාත්‍රී නිවේදනය කළේ ඉන්දියාව සමග පෙබරවාරි 15 ​​වැනිදා තරගය සඳහා කණ්ඩායම පිටියට පිවිසෙන බවයි.

ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡා කර තිබෙනවා.

2026 T20 ලෝක කුසලානයේ තරග සඳහා ඉන්දියාවේ දී සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමත් සමග පාකිස්තානය මූලික වටයේ ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බව නිවේදනය කළා.

තරගාවලියේ වඩාත් වානිජමය වශයෙන් වැදගත් තරගය වර්ජනය කිරීමෙන් සිදුවන මූල්‍යමය බලපෑම් සම්බන්ධයෙන් පුලුල් කතා බහක් ඇති වූණා.

ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ද තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ICC සාමාජිකයින් ගණනාවක් අනෙකුත් රටවලට මූල්‍යමය වශයෙන් බලපාන බව පවසමින් ඔවුන්ගේ තරගය වර්ජනය නොකරන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව පාකිස්තාන රජයේ ප්‍රකාශයෙන් තහවුරු වනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති කුමාර දිසානායක සමඟ කතා කළ බව ද එහි සඳහන් වුණා.

9 වැනිදා පස්වරුවේ පැවැත්වූ දුරකතන සංවාදයේ දී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබාදුන් සහයෝගය මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර තිබෙනවා.

අනුර කුමාර දිසානයක මහතා පවසා ඇත්තේ දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බවයි.

“බහුපාර්ශ්වික සාකච්ඡාවලින් ලබාගත් ප්‍රතිඵල මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, 2026 පෙබරවාරි 15 ​​වන දින ICC පිරිමි T20 ලෝක කුසලානයේ නියමිත තරඟාය සඳහා පිටියට පිවිසෙන ලෙස පාකිස්තාන රජය පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙයින් නියෝග කරයි. එපමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමේ අරමුණින් සහ සහභාගී වන සියලුම රටවල මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා මෙම තීරණය ගෙන ඇත,” රජයේ ප්‍රකාශයේ සඳහන් වනවා.

සාකච්ඡා සාර්ථක වූ බව නිවේදනය කරමින් අයිසීසී ය පැවසුවේ

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අතර සංවාදය සිදු වූයේ, ඵලදායී ගනුදෙනු සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීම මෙන්ම අඛණ්ඩතාව, මධ්‍යස්ථභාවය සහ සහයෝගීතාවයෙන් ක්‍රීඩාවේ හොඳම අවශ්‍යතා සඳහා සේවය කිරීම සඳහා ඔවුන්ගේ අභිලාෂයන් තුළ එක්සත්, කැපවූ සහ අරමුණු සහිත වීම යන දෙපාර්ශවය සමඟ පුළුල් සම්බන්ධතාවයක කොටසක් ලෙස ය. එම පවතින සන්දර්භය තුළ, සියලුම සාමාජිකයින් ICC ඉසව් සඳහා සහභාගී වීමේ නියමයන්ට අනුව ඔවුන්ගේ කැපවීම්වලට ගරු කරන බවත්, ICC පිරිමි T20 ලෝක කුසලානයේ දැනට පැවැත්වෙන අදියර සාර්ථක බව සහතික කිරීමට අවශ්‍ය සියල්ල කරන බවත් එකඟ විය” යනුවෙනි.

මේ අතර ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ ඒ සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X පණිවිඩය මගින් සඳහන් කර තිබෙනවා

Share