ජනාධිපතිට තවදුරටත් රජය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් තමන්ට වැරදි තොරතුරු ලබාදෙන උපදේශකයින් ඉවත් කල යුතුයි

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාට තවදුරටත් රජය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් තමන්ට වැරදි තොරතුරු ලබාදෙන උපදේශකයින් ඉවත් කිරිමට වහා පියවර ගත යුතු බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යන් පවසනවා.
උන්වහන්සේ මේ බව සදහන් කලේ ලබන 20 වන දින පැවැත්විමට සැලැසුම් කර ඇති මහ සඟ සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, බෞද්ධයන්ට සහ සභ්‍යත්වයට එරෙහිව මතු වී ඇති තර්ජනයන්ට විරෝධය දැක්වීම සඳහා මහ සඟ සමුළුවක් ලබන 20 වන දින පැවැත්වීමට මව්බිම සුරැකීමේ සංවිධානය විසින් කටයුතු යොදා තිබෙනවා.
ඒ පිලිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අද පැවැත් වුනේ නාරාහේන්පිට අභයාරාමයේ දීයි.

මේ අතර රටට නැවත විපත්තියක් පැමිණෙන්නේ නම්, ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කලේ චීන රාජ්‍යයේ උත්සවයකට වැඩම කෙරූ අවස්ථාවකදීයි.

මේ අතර බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සදහා දරුවන් පැවිදි බිමට එක් කර ඇති, ආර්ථික වශයෙන් දුෂ්කර සහ නිවසක් අහිමි මාපියන්ට නිවසක් ඉදිකර දීම අරමුණු කර ගත් යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එහි මූලික අදියර යටතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000 ක් ඉදිකිරීමට පියවර ගන්නා බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසුවේ.

Share