ජනපති ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවෙයි

මත්ද්‍රව්‍ය සමඟ භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමු වුණා.
විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම ගුවන් තොටුපොලේ දී භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්ඩංගුවට පත්වීම සමඟ මනාව තහවුරු වන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්න හමු වූ ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව නිවේදනයේ සඳහන්.
භික්ෂූන් අත්ඩංගුවට ගැනීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදි පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.
සිද්ධියට අදාළව මහානායක හිමිවරු නිකුත් කළ නිවේදනය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස මහා සංඝරත්නය මෙහිදී රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටි බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
එමෙන්ම, වත්මන් ප්‍රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

Share