ඉන්දියාවේ පැවති AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවන බව සමුලුව අමතමින් පෙන්වා දුන් ජනාධිපතිවරයා තම රට AI යටිතල පහසුකම් දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙස බවයි. සමුලුවට සමගාමීව ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් සමග සාකච්ඡාවලද නිරත වුණා. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 19 වැනිදා ඊට සහභාගී විය. සමුළුවේදී, කෘත්‍රිම බුද්ධිය භාවිතය සම්බන්ධයෙන් නීතිමය රාමුවක්, කලාපීය සහයෝගිතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තාක්ෂණ ප්‍රවේශය පුළුල් කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම “Responsible AI” සංකල්පය හෙවත් අධි පාලනයක් සහිත, පාරදෘශ්‍ය සහ මානව හිමිකම් ගරු කරන AI පද්ධති සමුළුවේ දී පුලුල් ලෙස සාකච්ඡාවට ලක් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි නායක සැසිය අමතමින් ලෝක නායකයන්, තාක්ෂණ විශේෂඥයන් සහ නවෝත්පාදකයන් ඉදිරියේ පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නා.
“අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙසයි. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවක් යෝජනා කරනවා. එහිදී එය අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වීම ඉතා වැදගත්.”
AI යුගය තුළ ගෝලීය ප්‍රතිපත්ති තීරණ ගන්නා මේ අවස්ථාවේ, ශ්‍රී ලංකාව කලාපීය හවුල්කාරීත්වය මත පදනම්ව, නීතිමය සහ ආචාරධර්ම මත ස්ථාපිත AI භාවිතයක් වෙනුවෙන් තම ස්ථාවරය පැහැදිලි කළා.
ජනාධිපතිවරයා බ්‍රසීල, ප්‍රංශ, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දීය නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වුණා.
එම හමුවලදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, AI පර්යේෂණ සහ නවෝත්පාදන හවුල්කාරිත්ව, සයිබර් ආරක්ෂාව සහ දත්ත ආරක්ෂණය, තරුණයින් සඳහා AI පුහුණු වැඩසටහන් යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
AI යුගයේ ගමන තුළ ශ්‍රී ලංකාව හුදු නිරීක්ෂකයෙකු නොව ක්‍රියාකාරී හවුල්කරුවෙකු බව පෙන්වා දුන් මෙය, ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට නව පිළිගැනීමක් ලබා දෙන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.





