ඉරානය සමඟ පවතින යුද්ධයෙන් තමන් ජයග්‍රහණය කළ බව නැවත වරක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිඛෙනවා.
මේ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් පාකිස්තානය මගින් භාර දී ඇති බව ද රොයිටර්ස් සහ ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළා.
ඉරානය පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා වන “තිරසාර” යෝජනාවලට සවන් දීමට සූදානම් බවයි.
ද නිව්යෝර්ක් ටයිම්ස්, රොයිටර් පුවත් ඒජන්සිය සහ ඊශ්‍රායලයේ චැනල් 12 වාර්තා කරන්නේ, එක්සත් ජනපදය විසින් ඉරානයට කරුණු 15 කින් යුත් සැලැස්මක් භාර දී ඇති බවයි.
මීට පෙර ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වූ පාකිස්තානය මගින් මෙම සැලස්ම ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
සාම සැලැස්ම ඉදිරිපත් කිරීම ඔවුන් වාර්තා කර තිබුණේ නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින්.
චැනල් 12 හි වාර්තාව අනුව එක්සත් ජනපදය විසින් කරනු ලැබූ ඉල්ලීම් අතර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින නිදහස් සමුද්‍ර කලාපයක් ඇති කිරීම වනවා.
එමෙන්ම සැලැස්ම පිළිගතහොත් සම්බාධක ඉවත් කිරීම ඇතුලු ඉරානයට හිමිවන කාරණ ද එහි විස්තර කර තිබෙනවා.
මේ අතර ඉරානය සමඟ යුද්ධය අවසන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
එහිදී දෙරට අතර සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් පල කළා. ඉරානයෙන් තමන්ට ලැබුණු වටිනා ත්‍යාගයක් සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙහිදී කළ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් ව තිබෙනවා.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා වොෂින්ටනය විසින් සන්නිවේදන කටයුතු ආරම්භ කර ඇති බව ඉරාන අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම පණිවුඩ හුවමාරුව සිදුව ඇත්තේ විවිධ අතරමැදියන් හරහා වන අතර, ඉරානය පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා වන “තිරසාර” යෝජනාවලට ඇහුම්කන් දීමට තමන් සූදානම් බවයි.
ඕනෑම විසඳුමකදී තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව මෙහිදී ඉරානය අවධාරණය කර තිබෙනවා.
මෙවන් පසුබිමක ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ රූබියෝ සමඟ පැවැත්වූ සවිස්තරාත්මක දුරකථන සංවාදයේදී බටහිර ආසියානු ගැටුම සහ එහි බලපෑම ජාත්‍යන්තර ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු වූ බවයි.
එම සාකච්ඡාවෙන් පසු ඔහු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයන් සමග ද සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
මේ අතර යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ පිහිටි ස්ථාන 82,000කට අධික සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායලය තහවුරු කරනවා.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අදට දින 26ක්.
ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වී ඇති දැවැන්ත විනාශය පිළිබඳ රතු අඩ සඳ සංවිධානය අනාවරණ කර තිබෙනවා.
එහි ප්‍රධානී පීර් හොසේන් කොලිවන්ඩ් පවසන්නේ මෙය හුදෙක් දේපළ හානියක් පමණක් නොව, ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කරමින් සිදු කරන ලද බරපතළ යුද අපරාධයක් බවයි.
ක්ෂේත්‍ර පරීක්ෂණවලට අනුව මේ වන විට ඉරානය පුරා සිවිල් ඒකක 81,365කට හානි සිදුව ඇති අතර, ඉන් 61,555ක් නේවාසික නිවාස වන අතර 19,020ක් වාණිජ මධ්‍යස්ථාන වනවා.
වෛද්‍ය සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 275ක්, පාසල් 498ක්, රතු අඩ සඳ මධ්‍යස්ථාන 17ක් මෙන්ම ගිලන් රථ සහ සහන සේවා වාහන 48ක් ද ප්‍රහාරවලින් විනාශ වී තිබෙනවා.
මේ අතර යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා පිළිබඳ වාර්තා පළ වුවද, ඊශ්‍රායලය හා ඉරානය එකිනෙකාට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරගනිමින් සිටිනවා.
ටෙල් අවිව් ඉලක්ක කර ඉරානය ඊයේ ප්‍රහාර මාලාවක් දියත් කළා.
ඉරානයේ බුෂේහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට නැවත වරක් ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ ප්‍රධාන ව්‍යුහයට හෝ එහි ක්‍රියාකාරීත්වයට බරපතල හානි සිදුව ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
බලාගාරය අවට ප්‍රදේශයේ විකිරණ මට්ටම්වල අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය වී නැතැයි ද පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.
මේ අතර සෞදි අරාබිය ඩ්‍රෝන යානා 11ක් බිම දැමූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මැදපෙරදිග ප්‍රධාන ද්‍රවීකෘත ස්වාභාවික වායු හෙවත් LNG නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් බලාගාරයට වෙත එල්ල වූ මිසයිල් ප්‍රහාර හේතුවෙන් අපේක්ෂා නොකළ පාලනය කළ නොහැකි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කටාර් රාජ්‍යය පාලනයෙන් බැහැර වූ තත්ත්වයන් හේතුවෙන් ගිවිසුම්ගත වගකීම් තාවකාලිකව නවතා දැමීමට හැකි වන අතර, මෙම තත්ත්වය ගෝලීය ශක්ති වෙළඳපොළට බලපෑම් එල්ල කරනු ඇතැයි සඳහන්.
පවතින තත්ත්වය තුල ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වෙත සිදුකරන LNG සැපයුම් තාවකාලිකව නවතා දමා ඇති බව කටාර් රාජ්‍යය බලශක්ති අමාත්‍යංශය පවසනවා.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය මධ්‍යයේ, අන්තර්ජාලය හරහා රට අස්ථාවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පුද්ගලයන් 466 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඉරාන රජයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරන අන්දමට, මෙම පිරිසට එල්ල වී ඇති චෝදනා අතර මහජන මතය අවුල් කිරීම, සමාජය තුළ බිය සහ කාංසාව ඇති කිරීම මෙන්ම සතුරාට පක්ෂව ප්රචාරක කටයුතු මෙහෙයවීම වනවා.





