ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා
මෙම සාකච්චාවේ දී වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
එමෙන්ම දෙරට අතර බලශක්ති සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ පැවැති සංවාදයේදී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බවයි
එහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිව ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා
එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී දෙරටේ නායකයින් සමාලෝචනය කළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කල සටහනේ සඳහන්
එමෙන්ම, කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා.
මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවයි.
ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එසේම ඉදිරියේදී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා.
2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර අති අතර වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත් යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත් පසුගිය සති දෙක තුන තුළ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී අනාවරනය වුනා.
පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙලෙස මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත්, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර ඇති අතර, එයින් මෙට්‍රික් ටොන් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිත හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතින බවයි මෙම සාකච්චාවෙ දී පවසුනේ.
කෙසේ වෙතත්, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කරගෙන තිබෙනවා.
මෙහි දී වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.
මේ දින වල උත්සන්න වී තිබෙන මැදපෙරදිග යුධමය වාතාවරණය සමග ලෝක තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුවයි.





