ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට විරුද්ධ යැයි පැවති පැරණි මතය වෙනස් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ද හින්දු පුවත්පත සමග කොළඹ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ දී සමකාලීන ප්‍රශ්න සහ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි අවධානය යොමු කර ඇතැයි සඳහන් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එය ඔහුගේ පළමු ඉන්දීය සංචාරයයි.
එහිදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා නවදිල්ලියේ දී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් හමු වූ අතර කේරළයේ සහ ගුජරාටයේ ද සංචාරය කළ අතර එහි ප්‍රධාන අමාත්‍යවරුන් ද හමු වුණා.
එම සංචාරයෙන් පසු කොළඹ දී ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් සමඟ “ඉතා මිත්‍රශීලී හා සුහද” සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කර තිබෙනවා.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී හවුල්කරුවෙකු වනු ඇතැයි ඔහු අවධාරණය කළ බව පවසන ටිල්වින් සිල්වා මහතා තමන් ද මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීමට ඇති අපේක්ෂාව ප්‍රකාශ කළ බව සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරනවා.
ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සැකයෙන් පසුවන බවට ඇති මතය ගැන විමසූ විට, විශාල ව්‍යාපෘති පිළිබඳ සැකයන් ඉන්දියාවට විශේෂිත නොවන බව ටිල්වින් සිල්වා මහතා පවසා තිබෙනවා.
ඕනෑම ව්‍යාපෘතියකදී, එය ක්‍රියාත්මක කරන ආකාරය හා ව්‍යාපෘති වියදම් හා කොන්දේසි සාධාරණද යන්න විමසිය යුතු යැයි පවසන ප්‍රධාන ලේකම්වරයා එවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ජනතාවගේ හා දෙරටේම හොඳම අවශ්‍යතාවයන් සඳහා ක්‍රියාත්මක වන බව සහතික කළ යුතු බව අවධාරණය කරනවා.
තවද, පක්ෂයේ චින්තනයේ වෙනස්වීම්, එහි මාක්ස්වාදී පන්තිවල “ඉන්දියානු ව්‍යාප්තවාදය” පිළිබඳ න්‍යාය පෙන්වා දෙමින්, ප්‍රධාන ලේකම්වරයා පවසා ඇත්තේ, ඉන්දියාවට සතුරු පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ පැරණි සංජානනය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බවයි.
1987 ඉන්දු-ලංකා ගිවිසුම හා එයින් බිහි වූ පළාත් සභා ක්‍රමය සහ ඉන්දියානු සාම සාධක හමුදාව ස්ථානගත කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත්වීමට ඓතිහාසික විරෝධයක් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ, දැන් දේශපාලනය හා ආර්ථිකයේ සමකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.
ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන පළාත් සභා ඡන්ද විමසීම්, ජාතික ප්‍රශ්නය හෝ දෙමළ කතා කරන ප්‍රදේශවලට බලය බෙදාදීම වැනි සාම්ප්‍රදායික කරුණු මතු නොකළ බව පවසන ටිල්වින් සිල්වා මහතා දෙපාර්ශ්වයේ සාකච්ඡාවල අවධානය සංවර්ධන සහයෝගීතාවය මත වූ බව සඳහන් කරනවා.





