ඝාතකයන්ගේ පැටිකිරිය

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයකට වෙඩි තැබූ වෙඩික්කරුවන්, පිය පුතු දෙපළක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
වයස අවුරුදු 10ක දැරියක ද ඇතුලුව 16 දෙනෙක් මරා දැමූ ඝාතකයන්ගේ අයිඑස් සබඳතා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ජනප්‍රිය බොන්ඩායි මුහුදු වෙරළේ පැවති යුදෙව්වන්ගේ හනුක්කා උත්සවයේ පළමු දිනය වූ ඊයේ එරට වේලාවෙන් පස්වරු 06.47ට පමණ වෙඩි තැබීමක් සිදුවුණා.
වෙඩික්කරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කළ අතර සිද්ධියෙන් මේ වන විට 16 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
පොලිස් නිලධාරීන් ඇතුළු තවත් 42දෙනකු තුවාල ලැබුවා.
වෙඩි ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන බොන්ඩායි වෙරළ අද පාලු ස්වභාවයක් ඉසිලුවා.
මේ අතර ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් බොහෝ පිරිසක් බොන්ඩායි වෙරළ තීරයට පැමිණ මල් තබා ශෝකය පල කරන අයුරු දක්නට ලැබුණා.

සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් හනුක්කා උත්සවයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු රජයට, ජනතාවට සහ ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සහයෝගයෙන් සිටින බව ද පවසනවා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට අපගේ සමාජවල කිසිදු ස්ථානයක් නොමැති බවයි.
මේ අතර, සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නැතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවා.
මේ අතර වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් දෙදෙනා පකිස්ථාන ජාතිකයන් වන පියෙකු සහ පුතෙකු බව ඕස්ට්‍රේලියානු බලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
වයස අවුරුදු 50 ක් වන සජිඩ් අක්‍රම් එම ස්ථානයේදීම මිය ගියා.
ඔහුගේ පුත් 24 හැවිරිදි නවීඩ් අක්‍රම් වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිනවා.
සජීඩ් අක්‍රම් 1998 දී ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙක් වන අතර ඔහුගේ පුතා, නවීඩ් ඔස්ට්‍රේලියාවේ දී උපත ලබා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ සිඩ්නි කේන්ද්‍ර කරගත් අයි එස් ජාලය සමඟ ඔහුගේ සබඳතා හේතුවෙන් රටේ බුද්ධි සේවය නවීඩ් අක්‍රම් ගැන වසර හයකට පෙර විමර්ශනය කළ බවයි.
කෙසේ වෙතත්, ඔහු ක්ෂණිකව තර්ජනයක් සිදුකල හැකි පුද්ගලයෙකු ලෙස ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ මේ වනතෙක් හඳුනාගෙන සිට නැහැ.
දෙදෙනාම ත්‍රස්තවාදී කණ්ඩායමට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇතැයි විමර්ශකයින් විශ්වාස කරන බව ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වුණා.
ඔවුන්ගේ මෝටර් රථයේ තිබී ඉස්ලාමීය රාජ්‍ය ධජයක් සහ පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගනු ලැබුවා.
පියා සහ පුතා පවුලේ සාමාජිකයින්ට පවසා ඇත්තේ ඔවුන් ධීවර ගමනක් යන බවයි.
සජිඩ් අක්‍රම්ට ගිනි අවි බලපත්‍රයක හිමිකරුවෙක් වන අතර ඔහු සතු ගිනි අවි 6ක් වෙඩි තැබූ ස්ථානයේ සහ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය පැවසුවා.

Share