ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නොමැකෙන මතකයන් රැසක් තිලිණ කළ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම අද දිවියෙන් සමුගත්තා.
කලක් රෝගාතුවර පසුවූ ගුවන් විදුලියේ සුපසන් හඬ නිහඬ වූයේ 68 වැනි වියේ දී.
චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම ලෙසත් චිත්‍රා කුමාරි කළුබෝවිල ලෙසත් ගුවන් විදුලිය ඔස්සේ මෙරට ශ්‍රාවක ජනතාව සොයා ආ හුරුපුරුදු හඬ රිද්මයක් ඒ.
ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි නිවේදිකාවක්, නාට්‍ය ශිල්පිණියක් මෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ලෙසත් ඇගේ හඬ මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයා තුළ සදාකාලිකවකම නිදන්ව තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයට අත්පොත් තැබූ චිත්‍රා කුමාරි කළුබෝවිල තම තියුණු කටහඬ සහ වෙනස්ම වූ ඉදිරිපත් කිරීමේ රටාව හේතුවෙන් කෙටි කලකින් ශ්‍රවක ජනතාව අතර, මහත් ප්‍රසාදය දිනා ගත්තා.
අඛණ්ඩව තෙවරක් වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති ප්‍රකාශිකාව ලෙසින් ඇය ගුවන්විදුලි රාජ්‍ය සම්මාන ද ලැබුවා.
ඇය ගුවන් විදුලියෙන් විශ්‍රාම ගන්නා විට කටයුුතු කළේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂිකාව ලෙසයි.
එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංග සඳහා එකළ නැතුවම බැරි නිවේදිකාවක වූ ඇය ප්‍රාසාංගික වේදිකාවේ නිවේදන රැජින” ලෙසින් ද හඳුන්වනු ලැබුවා.
දශක ගණනාවක් පුරා තමන් ලැබූ අත්දැකීම් ආධුනික නිවේදික නිවේදිකාවන් හා බෙදා ගැනීමට ඇය කිසිවිටෙක දෙවරක් නොසිතූ සුසමාදර්ශී චරිතයක් වුණා.
නිර්මාණාශීලී මෙන්ම සුභාවිත වාග් කෝෂයකින් සහ වාග් විලාශයකින් පොහොසත් පූරකවරියක ලෙස ශ්‍රී ලංකේය ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ චිත්‍රා කුමාරි කළුබෝවිල ආදරණීය නිවේදන ශිල්පිනිය කලක් රෝගාතුරව සිට අද පෙරවරුවේ දිවි ගමන නිමා කළා.
විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුළට මෙරට ප්‍රේක්ෂක ජනතාව වේගයෙන් යොමුවෙමින් පවතින පරිවර්ථීනය යුගයක ගුවන් විදුලියට ශ්‍රාවකයා ආකර්ෂණය කර ගැනීමෙහිලා මේ ජ්‍යෙෂ්ඨ නිවේදන ශිල්පිනිය කළ සුවිශේෂි කැපවීම රේඩියෝවට ඇලුම් කළ කිසිවෙකුට කිසිදා අමතක නොවනු ඇති.





