ගි‍නස් ලෝක වාර්තා තුනක් පිහිටුවීමට විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමත් වෙයි.

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක අඛණ්ඩව පැය 48ක ධාවනය සාර්ථකව අවසන් කරමින් ගි‍නස් ලෝක වාර්තා තුනක් පිහිටුවීමට විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමත් වුණා.
ඔහු පසුගිය සිකුරාදා මෙම ධාවනය ආරම්භ කළා.
ඒ අනුව, මීට පෙර යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 94.30 දුරක් ධාවනයේ යෙදීමෙන් ඔහු විසින්ම තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින්, පැය 12 ක කාලයකින් කිලෝ මීටර් 100.36 ක් එක දිගට ධාවනයේ යෙදීමෙන් පළමු ගිනස් ලෝක වාර්තාව තැබුවා.
දෙවන ගිනස් ලෝක වාර්තාව වූයේ පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 188.13ක දුරක් දිවීමෙන් මීට පෙර තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින්, කිලෝ මීටර් 190.55 ක් ධාවනයේ යෙදීමයි.

තෙවැනි වාර්තා වූ යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 48 ක කාලයක් තුළ කිලෝ මිටර් 316.7ක දුරක් දිවීම ඔහු අද පෙරවරු 10ට සම්පූර්ණ කළා.
මෙම ගිනස් ලෝක වාර්තාවන්ට සමඟාමීව, යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක වේගවත්ම කිලෝ මිටර් 100ය, පැය 11යි, විනාඩි 57යි, තත්පර 18කින් නිම කිරීම, සැතපුම් 100ය පැය 20යි, විනාඩි 07යි, තත්පර 42කින් නිම කිරීම සහ කිලෝ මීටර් 300ක් වේගවත් ඇවිදීමේ වාර්තාව පැය 44යි, විනාඩි 40යි, තත්පර 24කින් නිම කිරීම වශයෙන් වාර්තා 03ක් තබා ඇති අතර, එම වාර්තාද ඉදිරියේදී ගිනස් ලෝක වාර්තා ලෙස සලකා බැලීමට යෝජිතයි.

Share