වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නොමැති බව බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි තොග පවතින බැවින් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටයි.
වෙතත් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගෑස් හිඟය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පසුගිය දින කිහිපයක සිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.
මේ තත්ත්වය රටේ නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර මහනුවර ප්‍රදේශයේද ලිට්‍රෝ ගෑස් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.
කෙසේ වෙතත් වෙළඳපොලේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව සහ ප්‍රමාණවත් පරිදි තොග පවතින බවයි.
ඉන් පෙන්වා දෙන්නේ ලාෆ්ස් ගෑස් සමාගමේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000 එල් පී ගෑස් ආනයන අපනයන ගබඩා පර්යන්තය, දේශීය එල් පී ගෑස් සැපයුම් වෙනුවෙන් භාවිතා කිරීමට බලපා ඇති රේගුලාසීමය සීමාවන් මෙම ගෑස් සිලින්ඩර හිගයට ප්‍රධානම හේතුවක් බවයි.
එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරින් සමග නිරන්තර සම්බන්ධිකරණයෙන් කටයුතු කරමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තොග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම කොළඹ වරාය හරහා මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට සුදානම් කර තිබෙන බවයි එහි සඳහන් වන්නේ.
ඒ අනුව එම සමාගම ඉල්ලා සිටින්නේ, අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටයි.
ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් මෙම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර තිබෙන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගෙන අද සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.
සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මෙම ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා.





