ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ උදෑසන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ කූඩාරම් සහිත කඳවුරක් වෙත එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 6 දෙනෙකු මියගොස් ඇති අතර ගාසා තීරයේ දකුණු පෙදෙසට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හමාස් සංවිධානය මගින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.
මේ අතර පලස්තීන වැසියන්ට සිය අයිතිය නීතිමය වශයෙන් තහවුරු කිරීමට නොහැකිව බටහිර ඉවුරේ පවතින ඉඩම්, ඊශ්‍රායල් රජයේ දේපළ ලෙස ලියාපදිංචි කිරීමේ මතභේදාත්මක සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල් රජය පියවර ගනිමින් සිටිනවා.
1967 ඊශ්‍රායල ආක්‍රමණයෙන් පසු බටහිර ඉවුරේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලීන් අත්හිටුවා තිබූ අතර දිගුකාලීන යුද ගැටුම් හේතුවෙන් බොහෝ පලස්තීන්වන්ට සිය ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ලේඛන ලියාපදිංචි කිරීමට අවස්ථාව අහිමි වී තිබුණා.
මෙසේ නීත්‍යානුකූලව අයිතිය තහවුරු කළ නොහැකිව ගාසා තීරයේ පවතින පලස්තීන ඉඩම් අත්පත් කරගැනීම ඊශ්‍රායලයේ නව සැලසුමයි.
ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන මෙම සැලසුම, පලස්තීන භූමිය බලහත්කාරයෙන් ඈඳා ගැනීමක් ලෙස ද දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීමක් ලෙස ද මානව හිමිකම් සංවිධාන සහ අසල්වැසි අරාබි රටවල් පෙනවා දී තිබෙනවා.

Share