ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පුද්ගලයින් 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් නම් කර තිබෙනවා.
මෙම කමිටුව පත් කර ඇත්තේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය අධ්‍යනය සඳහායි.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගෙන්වන ලද ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට විවිධ චෝදනා එල්ල වුනා. ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පුද්ගලයින් 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් නම් කර තිබෙනවා.
මෙම කමිටුවට විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ,යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සාමාජික ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සාමාජික ආචාර්ය අයි.යූ.අත්තනායක,රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු සාමාජික ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න,විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සාමාජික ආචාර්ය උදිත් විජයවර්ධන, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සාමාජික ආචාර්ය ගීතාල් සිරිවර්ධන සහ බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. එල්. ආර්. සී. විජයසිංහ යන පිරිස ඇතුළත්.
මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගෙන්වන ලද ගල්අඟුරු තොග සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන්ම 40% කට ආසන්න ප්‍රමාණයක් සපයනු ලබන්නේ නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
රටේ පවත්නා අවම මිල තාප විදුලි බලාගාරය වශයෙන් වසරකට ඒකක බිලියන පහකට අධික ස්ථාවර බල ශක්තියක් පද්ධතියට එකතු කරනු ලබන්නේ ලක්විජය බලාගාරය බැවින් මෙහි ක්‍රියාකාරිත්වය පාරිභෝගික ජනතාවගේ විදුලි බිල කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලබන බව එහි සඳහන්.
මෙම බලාගාරය ආරම්භයේ පටන් ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය Lanka Coal Company (Private) Limited හරහා සිදුවන අතර විවිධ සමාගම් මඟින් ගල් අඟුරු තොග ලබාගෙන ඇති අතර, වර්තමානයේ සමාජය තුළ විශාල කතා බහක් ඇති වී ඇති ගල් අඟුරු තොග ආනයනයට පෙර, මෙවැනි මට්ටමේ හා ප්‍රමාණයේ ප්‍රමිතියෙන් හීන ගල් අඟුරු ආනයනයක් වාර්තා නොවන බව නිවේදනයෙන් තවදුරටත් දන්වා තිබෙනවා.
මෙය ඉතා බරපතල තත්වයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් දන්වා තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රසම්පාදනය තුලින් ලංකා විදුලිබල මණ්ඩලයට හා විදුලි පාරිභෝගිකයන්ට සිදුවන රුපියල් බිලියන ගණනක අලාභයට වගකිය යුත්තන් විධිමත්ව හඳුනාගෙන ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් තරයේ අවධාරණය කරනවා.
මෙම අලාභය හුදෙක් අමාත්‍යංශ අභ්‍යන්තර කමිටු මඟින් ගණනය නොකළ යුතු අතර, නිවැරදි තාක්ෂණික ඇගැයීමක් මඟින් විනිවිද භාවයකින් යුක්ත ලෙස ගණනය කිරීම් සිදු කළ යුතු බවද සඳහන් කර තිබෙනවා.
මෙම ප්‍රවණතාවයන් හමුවේ සත්‍ය හෙළිකරීමට ඉදිරිපත් වන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් ඇතුළු ලක්විජය බලාගාරයේ සියළු සේවකයන්ට කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු බවට දැඩිව අවධාරණය කරන අතර, එලෙස සිදු කරන ඕනෑම බලපෑමකට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන්.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසන්නේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගෙන්වන ලද ගල්අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිඳු වංචාවක් සිදුව නොමැතිව බවයි.





